slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2020
‘ජැෆ්නා ස්ටැලියන්ස්’ එල්.පී.එල්. පළමු කිරුළේ හිමිකරුවෝ වෙති

sinhala editor

Chamila Karawita reporting from Hambantota

තම තමන්ට හිමි වගකීම් වටහා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැති “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (16 දා) සමත්වූහ.  හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් ලද ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ අභිනව ශූරයින් ලෙසින් කිරුළු පැළඳූහ.

ස්ටැලියන්ස් පිල ලබා දුන් ලකුණු 189 ක ඉලක්කය හඹා ගිය ග්ලැඩියේටර් පිලේ ආරම්භයම නොසිතූ කඩා වැටීමකට ලක්වීම මෙතරම් පරතයකින් තරග පරාජය වීමට ඉවහල් විය. ආරම්භක පන්දුවාරයේ සිට ග්‍රහණය වැඩි කරමින් පන්දු යැවූ ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් දෙපළ පවර් ප්ලේ අවස්ථාවට හිමි පළමු පන්දුවාර 6 අවසන් වන විට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේ ලකුණු 30 ක් පමණක් ලබාදෙමිනි.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් පන්දුවට පහර දීමට පැමිණි ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යෑමකට හසු වීම ග්ලැඩියේටර් පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ලකුණක් ලබා සිටි ගුණතිලක පහසු ලකුණක් කරා කඩුලු අතර දිව යෑමේදී පන්දු යැවූ සුරංග ලක්මාල්ගේ ශරීරයේ ගැටුණු අතර එහි වාසිය ලබා ගත් පන්දු රැකි තිසර පන්දුව රැගෙන දිව ගොස් කඩුල්ල බිඳ දැම්මේය. ගැටීමේදී දිව යන අන්තය පවා මාරු වුණු ධනුෂ්කගේ තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කෙරුණු අතර එයිදී කඩුල්ල බිඳ දමන විට ඔහුගේ පිත්ත සීමාවට අඟල් කීපයක් පසුපසින් විය.

පළමු පන්දුවාරයේදීම හස්රතුල්ලා සසායිව දවා ගනිමින් ග්ලැඩියේටර් ආරම්භය අපහසු කිරීමට ධනංජය ද සිල්වා සමත් වුවත් භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 55 ක් රැස් කළහ. එහෙත් ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරිගේ පන්දු හමුවේ භානුක ලකුණු 40 කටත් ෂෙහාන් ලකුණු 15 කටත් දැවී ගිය. පන්දු 17 කින් සමන්විත වුණු ග්ලැඩියේටර් නායකයාගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කරමින් මැද පෙළින් පන්දුවට පහර දීමට ආ අසාම් ඛාන් පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 36 ක් රැස් කළද චරිත් අසලංකගේ සහායෙන් ඩුවේන් ඔලිවියර් ඔහුගේ කඩුල්ල දවාගත්තේය. ස්ටැලියන්ස් පිල වෙනුවෙන් ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරි කඩුලු 2 බැගින් බිඳ හෙළුවද එම ඉනිමේ පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ එකම පන්දු යවන්නා වූ වනිඳු හසරංග ලකුණු 18 ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේය.  

අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නායක තිසර පෙරේරා වේගවත් ලකුණු 39 ක ඉනිම ප්‍රධාන කොට අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිල හමුවේ ලකුණු 189 ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

ස්ටැලියන්ස් ඉනිමේ අවසන් පන්දු 24 න් 14 කට මුහුණ දුන් තිසර සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගනිමින් ලකුණු වේගය වැඩි කළේය. තිසරගේ ඉනිම ප්‍රධාන කොට එම පන්දු 24 දී ලකුණු 48 ක් ග්ලැඩියේටර් පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක් රැස් කළහ. එහිදී අවිෂ්ක පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 27 ක්ද චාල්ස් පන්දු 15 කදී  ලකුණු 26 ක්ද ලබා ගත්හ.

ලෝන් ඕන් කළාපයේ පන්දු රැකි ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි උඩ පන්දු රැක ගැනීම මත චාල්ස්ගේ ඉනිම අවසන් වූ නමුත්, පළමු පන්දුවාරය යැවූ මොහොමඩ් අමීර්ට ලකුණු 11 ක් සහ දෙවැනි පන්දුවාරය යැවූ නුවන් තුෂාරගේ පන්දුවාරයට ලකුණු 14 ක් වශයෙන් ප්‍රහාරක ආරම්භයක් ලබාගැනීමට අවිෂ්ක සහ චාල්ස් යුගල සමත්වීම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 අවස්ථාවේදී ලකුණු 51 ක් රැස් කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිලට හැකියාව ලැබිණ.

මෙම තරගාවලියේ හොඳම සොයා ගැනීම බවට පත්ව සිටින ධනංජය ලක්ෂාන් අද තරගයේදී කඩුලු 3 ක් බිඳ හෙළීම කැපී පෙනුණි. එම දක්ෂතාවයත් සමඟ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන දක්වා ඉහළට පැමිණීමට ධනංජය ලක්ෂාන් සමත්වී සිටියි. ලෙග් කටර් පන්දුවක් හමුවේ ජොන්සන් චාල්ස් දවා ගත් ධනංජය ඒ ආකාරයේම පන්දු 2 ක් යවමින් ෂොයෙබ් මලික් සහ ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගැනීම කැපී පෙනිණ.

ලකුණු 26 ක් ලකුණු පුවරුවට එකතු වන අතර වාරයේ ඉදිරි පෙල පිතිකරුවන් තිදෙනා දවා ගනිමින් තරගයේ කිසියම් පාලනයක් ගෝල් ග්ලැඩියේටර් පිල ලබා ගැනීමට සමත් වුවත්,  සිව්වැනි කඩුල්ලට එක් වූ මලික් සහ ධනංජය ද සිල්වා පන්දු 44 කදී ලකුණු 69 ක් එක් කළහ. ලකුණු 188 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවුවද ස්ටැලියන්ස් පිලවෙනුවෙන් එකම හෝ අර්ධ ශතකයක් වාර්තා නොවීම  කැපී පෙනුණ. වැඩිම ලකුණු ලාභියා වුණු ෂොයෙබ් මලික් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමසඟින් ලකුණු 46 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ධනංජය ද සිල්වා පන්දු 20 කදී ලුණු 33 ක් රැස් කළ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

නැගී එන ක්‍රීඩකයා සම්මානය – ධනංජය ලක්ෂාන්

අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee