slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2021
මැතිව්ස්ගේ ආගමනයෙන් කලම්බු ස්ටාර්ස් හිස ඔසවයි

sinhala editor

By Chamila Karawita

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයත් දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් ඉනිමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 41 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද (12 දා) සමත්විය. ස්ටාර්ස් පිල මෙම ජය වාර්තා කරන ලැබුවේ අවසන් තරග 3 ම පරාජයට පත්වීමෙන් පසුව වීම කැපී පෙනෙයි.

කණ්ඩායමේ නිත්‍ය නායකයා වුවද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පළමු තරග 4 ම ක්‍රීඩා කිරීමේ වරම අහිමිවූ ඇන්ජලෝ මැතිව්ස් සහභාගිවූ පළමු තරගයේදීම පන්දු 57 කදී ලකුණු 73 ක් ලබා ගත්තේය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 කින් වර්ණවත් වුණු මැතිව්ස්ගේ ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

පන්දු 104 කදී ලකුණු 163 ක ඉලක්කයක් හඹා යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා පිටියට පිවිසි ග්ලැඩියේටර්පිලේ ආරම්භක පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට අභියෝගයක් වන අයුරින් පිත්ත හැසිරවූවේය. ගුණතිලක ලකුණු 14 දී සීකුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි චන්දිමාල් අතට උඩ පන්දුවක් දී දැවී යද්දී සිය අන්තය රැක ගනිමින් කණ්ඩායම බේරා ගැනීමේ අසීරු කාර්යයක නියැළුණේය.

තරග තහනමින් පසු නැවතත් පිටියට අවතීර්ණව සිටින කුසල් මෙන්ඩිස්, මෙතෙක් තරගාවලියේ රැස් කරන ලද පළමු අර්ධ ශතකය පන්දු 28 කදී රැස් කොට ස්ථාවරත්වයක් ගොඩ නඟා ගනිද්දී හෆීස් හැරුණු කොට සෙසු එකම පිතිකරුවකු ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දීමට අපොහොසත් විය. කොයි මොහොතක හෝ පිතිකරුවන් අතින් වරදක් අපේක්ෂාවෙන් පන්දු යැවීමේ කාර්යය ඉටු කළ සීකුගේ ප්‍රසන්න හෆීස්ගේ කඩුල්ල දවා ගනිමින් දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 51 කට සීමා කළේය. එම කඩුල්ල දැවී යෑ‍මෙන් ලකුණු 33 ක් ඉනිමට එකතු වද්දී නම් දැරූ පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත්වූහ. පන්දු 39 කදී ලකුණු 64 ක් රැස් කරගෙන සිටින කුසල් මෙන්ඩිස්ද ඒ අතර විය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු නවීන් උල් හක් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී සීකුගේ ප්‍රසන්න සහ රවී රාම්පෝල් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. නායක භානුක රාජපක්ෂගේ කඩුල්ල අශාන් ප්‍රියන්ජන් විසින්ද දවා ගත්තද එහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ ස්ටම්ප් කිරීම සිදුකළ දිනේෂ් චන්දිමාල්ටය. පෙර තරගයේ කඩුලු රැකීමේ කාර්යය පැවරුණු සදීර සමරවික්‍රම වෙනුවට පැමිණි මොහොමඩ් ශමාස්ගේ කඩුල්ල දුෂ්මන්ත චමීරද දවා ගනිද්දී ඉසුරු උදානව දුවද්දී දවා ගැනීමට ටොම් බැන්ටන් සහ චන්දිමාල් සමත්වූහ.

ජාත්‍යන්තර තරග පිටියේ කිසි දිනෙක ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කොට නොමැති මැතිව්ස් අද තරගයේදී කලම්බු ස්ටාර්ස් වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමද කැපී පෙනුණි. අසාර්ථක කුසල් පෙරේරා වෙනුවෙන් මැතිව්ස් කණ්ඩායමට එක් වද්දී කඩුලු රැකීමේ අත් ආවරණ වල වගකීම දිනේෂ් චන්දිමාල් විසින් ඉටු කළේය.

වර්ෂාව හේතුවෙන් එක් පිලකට පන්දුවාර 18 බැගින් නියමිතව ඇරැඹි මෙම තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලේ ඉනිම ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම වටා ගොඩ නැගිණ. මැතිව්ස් සමඟ ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක දෙවැනි පන්දුවාරයේදීම දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙසින් පැමිණි අශාන් ප්‍රියන්ජන් කලම්බු ස්ටාර්ස් ඉනිම ඉදිරියට රැගෙන ගියේය. පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 5 දී රැස් කරගනු ලැබුවේ ලකුණු 25 ක් පමණක් වුවත් කඩුලු අත තබාගෙන පන්දුවට පහර දීම නිසා ඉනිමේ අවසන් පන්දුවාර වලදී වැඩි වේගයකින් යුතුව ලකුණු රැස් කිරීමේ අවස්ථාව ස්ටාර්ස් පිල සතු විය.

ඉනිමේ කොඳු නාරටිය වූ මැත්ව්ස් 16 වැනි පන්දුවාරයේදී දැවී ගිය අතර ඉන් පසු තරගයේ යෂ්ඨිය අතට ගත් චන්දිමාල්, මැතිව්ස් ආරම්භ කළ ලකුණු රැස් කිරීම හමාර කළේ අවසන් පන්දු 12 දී ලකුණු 36 ක් රැස් කරමිනි. දඹුල්ල ජයන්ට්ස් එරෙහිව පැවැති අවසන් තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් අද තරගයේදීද පන්දු 14 කදී වේගවත් ලකුණු 36 ක් රැස් කර ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ චන්දිමාල්ගේ ඉනිම නිසා ග්ලැඩියේටර් ජයග්‍රහණය සඳහා පන්දුවාරයකදී රඳවා තබා ගත යුතු දළ වේගය ලකුණු 9 කට එහා අභියෝගයකට රැගෙන ගියේය. පිත්තෙන් දක්වන ලද දක්ෂතාවයට අමතරව කඩුලු රැකීමේ කාර්යයේ නියැළෙමින් ස්ටම්ප් කිරීමක්, දුවද්දී දවා ගැනීමක් සහ උඩපන්දුවක්ද රැක ගත් චන්දිමාල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් සහ සමිට් පටෙල් සිය පන්දුවාර 4 ලකුණු 23 කට සීමා කරමින් යැවීමට සමත් වද්දී පටෙල් කඩුලු 2 ක් දවා ගනිමිනි ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන සමිට් පටෙල්ගේ කඩුලු සංඛ්‍යාව තරග 5 කදී කඩුලු 11 ක් ලෙසින් සටහන්ව තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් සහිත දරුවන් වෙනුවෙන් ආධාර එක් කිරීමේ වැඩසටහනකට සහාය දැක්වීමමක් ලෙසින් කලම්බු ස්ටාර්ස් පිල රතු වර්ණය භාවිතයෙන් වූ විශේෂිත ටීෂර්ටයකින් තරග බිමට පිවිසීම කැපී පෙනුණි. කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ මැදිහත්වීම මත සිදුකරන ලද මෙම උතුම් ක්‍රියාවේදී තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ දිනේෂ් චන්දිමාල්ට හිමි රුපියල් ලක්ෂයක (100,000/=)  ත්‍යාග මුදල ‘Little Heart’ තේමා පාඨ මුල් කරගනිමින් වන එම අරමුදලට ලබා දීමට පියවර ගනු ලැබීය.

තරගයේ වීරයා – දිනේෂ් චන්දිමාල්

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 18 කදී කඩුලු 7 කට ලකුණු 162 යි – (ඇන්ජලෝ මැතිව්ස් 73, දිනේෂ් චන්දිමාල් 36, අශාන් ප්‍රියන්ජන් 23, සමිට් පටෙල් 23/2, මොහොමඩ් අමීර් 23/1, ධනංජය ලක්ෂාන් 22/2, නූර් අහමඩ් 33/1, ඉසුරු උදාන 49/1)

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 121 යි – (කුසල් මෙන්ඩිස් 64, මොහොමඩ් හෆීස් 16, ධනුෂ්ක ගුණතිලක 14, සමිට් පටෙල් 11, නවීන් උල් හක් 27/3, සීකුගේ ප්‍රසන්න 23/2, රවී රාම්පෝල් 36/2, අශාන් ප්‍රියන්ජන් 10/1, දුෂ්මන්ත චමීර 15/1)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee