slc
Home   |    News
දෙසැම්බර් 6, 2022
වාර්තා රැසක් අලුත් වූ තරගයේ ජය කැන්ඩි ෆැල්කන්ස්ට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව නෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය. මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ. පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කලම්බු ස්ටාර්ස් පිල අද දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාවද තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මෙහි අඩුම ලකුකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2021 වසරේදී දඹුල්ල ජයන්ට්ස් පිල රැස් කරන ලද ලකුණු 69 වේ.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල එක්ව ඉනිම ආරම්භ කළද වනිදු හසරංගගේ කඩුල්ලටම පන්දුව යොමු කිරීමට සමත්වීම නිසා දික්වැල්ල අනපේක්ෂිත දුවද්දී දැවී යෑමකට හසුවිය. එතැන් පටන් කලම්බු ස්ටාර්ස් පිතිකරුවන්ට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නන් ලකුණු 50 ක් වන විට පිතිකරුවන් 7 දෙනෙකුම දවා ගැනීමට සමත්වූහ.

7 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට පැමිණි හසරංග තෙවැනි පන්දුවේදී දිනේෂ් චන්දිමාල්ව දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර ඩැහැ ගත්තේය. ඊළඟට පැමිණි බෙනී හොවෙල් සහ සික්කුගේ ප්‍රසන්නගේ කඩුලු දෙකම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව වනිදු දවා ගනිමින් එල්.පී.එල්. තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද පන්දු යවන්නා වශයෙන් ඉතිහාස ගත විය. එතැනින් නොනැවතුණු දකුණත් පා දඟ පන්දු යවන්නා අනතුරුව මැතිව්ස්ව (26) දවා ගනිමින් කලම්බු ස්ටාර්ස් පිල අන්ත අසරණ භාවයකට ඇද දැම්මේය.

මැතිව්ස්ගේ දැවී යෑමත් සමඟ මෙතෙක් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවට (69) අඩුවෙන් දැවී යෑමෙන් අවධානමකට කලම්බු ස්ටාර්ස් පිල මුහුණ දුන්නත් ඩොමින්ක් ඩ්‍රේක්ස් සහ කීමා පෝල් එක්ව ලකුණු 34 ක සම්බන්ධතාවක් එක් නොකරන්නට තත්ත්වය මීටත් වඩා කලම්බු පිලට නරක අතට හැරෙනු ඇත.

පන්දු යැවීමේදීි කැපී පෙනුණු වනිඳු හසරංග තම පන්දුවාර 3 කදී ලකුණු 14 කට කඩුලු 4 ක් දවා ගනිද්දී ෆේබියන් ඇලන් පන්දු 3 කදී ඩුලු 2 ක් දවා ගත්තේය.

පැතුම් සහ ෆ්ලෙචර් අතර වාර්තා වුණු පළමු කඩුල්ලේ සම්බන්ධතාව හැරුනු කොට එම ඉනිමේ කැපී පෙනෙන සිදුවීම වූයේ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එල්.පී.එල්. තරග ඉතිහාසයේ තෙවැනි ශතක ලාභියා බවට පත්වීමය. ඉනිම ආරම්භයේ සිට පන්දුවට පහර දුන් දකුණත් ආරම්භක පිතිකරුවා නියමිත පන්දුවාර 20 අවසන් වන විටත් සිය කඩුල්ල ආරක්ෂා කර ගන්නා ලද්දේ පන්දු 67 කදී ලකුණු 102 ක් දක්වා සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගනිමිනි. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ෆ්ලෙචර් පිදුම් ලැබීය.

ලකුණු 00 සහ 09 ක් ලබා සිටියදී ලක්මාලගේ පන්දු හමුවේ පොයින්ට් හි පන්දු රැකි සික්කුගේ ප්‍රසන්න අතට ලබා දුන් උඩ පන්දුද, පසුව ලකුණු 18 සහ 24 ක් ලබා සිටියදී පිළිවෙළින් සුරංග ලක්මාල්ට සහ මුදිත ලක්ෂාන්ට ලබා දුන් පහසු උඩ පන්දු අත හැරීමෙන් වරම් ලබා ගත් ෆ්ලෙචර් සිය ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර 3 කින් වර්ණවත් කර ගත්තේය. ෆ්ලෙචර්‌ ලබා ගත් ලකුණු 102 එල්.පී.එල්. තරග ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කොට ඇති දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාවද වන්නේය. මීට පෙර ලොරී එවන්ස් පන්දු 65 කදී නොදැවී ලබාගත් ලකුණු 108 එල්.පී.එල්. ඉතිහාසයේ පිතිකරුවකු ලබා තිබෙන ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන්නේය.

මොවුන් දෙදෙනාට අමතරව අවසන් වසරේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100 ක් ලබා ගැනීම මෙතෙක් පිතිකරුවන් වාර්තා කර ඇති ශතක වෙති. වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි. ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest