slc
logo
Home   |    News
පෙබරවාරි 18, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එකට එක කරති

sinhala editor

By Chamila Karawita

තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ දෙවැනි නිල නොවන එක්දින තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 86 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් ලෙස (1-1) ක් වශයෙන් සම තත්ත්වයට පත් කර ගැනීමට අද (18 දා) පස්වරුවේ සමත්වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 316 ක ඉලක්කයක් තැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එය හඹා යෑමේදී ලයන්ස් පිල පන්දුවාර 38.1 කදී ලකුණු 229 කට නවතාලීමට සමත්වූහ. මෙහිදී පන්දුවෙන් කැපී පෙනුණු පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ලයන්ස් පිලේ කඩුලු 5 ක් බිද හෙළූහ. සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ට වාසි දායක ලෙසින් හැසිරුණු ප්‍රේමදාස තණතීරුවේදී පන්දුවාර 8.1 ක් යැවූ දුශාන් සිය කඩුලු 5 දවා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදීන්  හමුවේ පිරිනමා තිබුණේ ලකුණු 43 ක් පමණි.

පළමු එක්දින තරගයේදීද ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත් දුශාන් අද තරගයේදී දවා ගන්නා ලද කඩුලු 5 ත් සමඟ තරග දෙකේදී ලකුණු 99 කට කඩුලු 8 ක් ලෙසිනි.

දුශාන් මෙම දක්ෂතාවය දක්වන ලද්දේ පූර්ණ වශයෙන්ම පිතිකරුවන්ට හිතකර තණතීරුවකදී වීම කැපී පෙනෙයි. මන්ද යත් තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්වූ ටොම් ප්‍රේස්ට්ගේ කඩුල්ල සිය කඩුල්ල ලෙසින් දුශාන් දවා ගනු ලබන්නේ ඒ වන විටත් සමස්ථ තරගයේම ලකුණු 479 ක් (ශ්‍රී ලංකා ‘ඒ’ පිළේ ලකුණු 315 + ඒ වන විට ලයන්ස් පිල රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව වන 164) වාර්තා කිරීමට දෙපිළේ පිතිකරුවෝ සමත්ව සිටියදීය.

මෙම හඹා යෑමේදී ලයන්ස් පිල 28 වැනි පන්දුවාරය වන විට කඩුලු 2 කට ලකුණු 164 ක් වශයෙන් අවශ්‍ය වේගය රදවා ගෙන සිටි නමුත්, එතැන් සිට තරගයේ පාලනය අතට ගත් දුශාන් හේමන්ත පන්දු දෙකක් ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙත හරවා දුන්නේය. සිය කඩුලු 5 දවා ගැනීමේදී ප්‍රතිවාදී නායක මැතිව් ෆිෂර් දවා ගැනීම වෙනුවෙන් දුශාන් ගුවනට පැන තනි අතින් රැක ගන්නා ලද උඩ පන්දුවද අති විශිෂ්ඨ ගණයේ විය.

ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් තිදෙනා එක්ව අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 315 ක ලබා ගැනිමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අද හැකියාව ලැබිණ.

නියමිත එල්ලකයක් නොමැති වූද පන්දු රැකීමද දුර්වල වූ ලයන්ස් කණ්ඩායම හමුවේ කිසිදු අපහසුවකින් තොරව සිය පිති මුවහත් කරගත් ‘ඒ’ පිතිකරුවන් අතරින් ලසිත් කෲස්පුල්ලේ ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූයේ මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කර ගනිමිනි.

එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ඉතාමත් විශ්වාසනීය අන්දමින් පන්දුවට පහර දුන් කෲස්පුලලේ මේසන් ක්‍රේන්ගේ පන්දුවකට ටොම් ප්‍රේස්ට් අතට උඩ පන්දුවක් දී දැවී යන විට ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 67 කදී වාර්තා වුණු කෲස්පුල්ලේගේ ඉනිම සදහා ඔහු හතරේ පහර 12 ක් එල්ල කර තිබුණේය. ලයන්ස් පිල මෙහි පැමිණ තරග වැදි තුන්දින පුහුණු තරගයේ සිට ඔවුන් හා තරග වැදි කෲස්පුල්ලේගේ ලකුණු ලබා ගැනීමේ අනුපිළිවෙළ සටහන් වූයේ 19, 116, 128, 47, 4 සහ 73 ක් වශයෙනි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11 කදී දැවී ගියද කෲස්පුල්ලේට එකතු වුණු නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක් එක් කළහ. පන්දු 91 කදී ලකුණු 100 සීමාව ඉක්මවා ගිය දකුණත් පිතිකරුවන් යුගලය පන්දුවාරයකට ලකුණු 6 කට ආසන්න අතැම් විට ඊටත් වඩා වේගයක් රදවා ගැනීමට සමත්වූහ.

කෲස්පුල්ලේට අනගි සහයක් ලබා දුන් නුවනිඳු තැන්පත් පිතිකරණයක යෙදෙමින් ලකුනු 57 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු නුවනිඳුගේ ඉනිම පන්දු 70 කින් සමන්විත විය. ලකුණු 27 ක් ඇතුළත නුවනිඳු සහ කෘෘස්පුල්ලේ දැවීයෑමෙන් පසු පිටියට එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ නායක සදීර සමරවික්‍රම තරගයේ පසු භාගයේ වගකීම අකුරටම ඉටු කරන ලද්දේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක් කරමිනි.

නවසීලන්ත තරග සංචාරයට එක් කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව සුදු පන්දුවට ඇහැ හුරු කර ගැනීමේ බලාපාරොත්තු ඇතිව මෙම තරගාවලියට යොදවන ලද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 53 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේ තමන් පිළිබඳව තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි බව පෙන්වා දෙමිනි.

අවසන් මාස කීපයේදීම ලකුණු අතර සිටි සදීර සමරවික්‍රම අද දිනයේදීද නායකත්වයේ ලක්ෂණ විදහා පාමින් පන්දු 42 කදී ලකුණු 40 ක් රැස් කරගත්තේය. හතරේ පහර 2 ක් පමණක් ඇතුළත් වුණු සදීර, මැතිව්ස් සහ සහන් ආරච්චිගේ තිදෙනාම ලකුණු 20 ක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියට එක් වුණු දුනිත් වෙල්ලාලගේ සහ සුමින්ද ලක්ෂාන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි සුමින්ද ලක්ෂාන් පන්දු 27 කදී ලකුණු 35 ක් රැස් කරගන්නා ලද්දේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. අනෙක් අන්තයේ රැදී සිටි වෙල්ලාලගේ පන්දු 17 කදී ලකුණු 15 ක් රැස් කරගෙන සිටියේය.

තරගාවලියේ ශූරයින් තෝරනු ලබන දෙපිළ අතර තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගය ලබන 21 වැනි අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee