slc
logo
Home   |    News
මාර්තු 26, 2023
අපි ගැන විශ්වාසය තබන්න-සියළු දෙනාගේ ආශිර්වාදය දෙන්න – චාමිකගෙන් ඉල්ලීමක්

sinhala editor

ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි. ක්‍රීඩකයන්ට එරෙහිව විවිධ මඩ ප්‍රචාර යද්දී ක්‍රීඩකයන් පත්වන අසීරුතාව පිළිබද කල්පනා කළ යුතුව ඇතැයි චාමික සදහන් කළේය.

“ අපි ගැන විශ්වාසය තබන්න. ඒ වගේම රටේ සියළු දෙනා අපට ආශිර්වාදය දෙන්න. මොකද විශ්වාසයත්, ආශිර්වාදයත් යන දෙකම අපට වැදගත්. මේ එක්දින තරගාවලිය පටන් ගත්තා විතරයි. තව මැච් දෙකක් තියෙනවා. ඒ මගේම විස්සයි 20 තරග දෙකක් තියෙනවා. ඒ තරග සියල්ලේදීම උපරිම දේ කරන්න අප සූදානම්. ඒ නිසා අප සමග ඉන්න කියා සියළු දෙනාටම ආරාධනා කරනවා“ චාමික විශේෂ ඉල්ලීමක් සිදු කළේය.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ඕක්ලන්ඩ්හීදී නිමාව දුටු පළමු එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී චාමික කරුණාරත්න මේ බව පැවැසීය.

“ක්‍රිකට් වලින් සෑහෙන්න වෙනසක් කරපු රටක් තමයි ශ්‍රී ලංකාව. අපි වගේ ක්‍රිකට් ලොවේ දැවැන්ත රටක් ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් නොළැඹීම පිළිබඳ සතුටු වෙන්න බෑ. අපේ ක්‍රීඩක විවේකාගාරය තුල සිටින ක්‍රීඩකයන් මේ ගැන විශාල කණගාටුවකින් සිටිනවා. අප කල්පනා කළ යුත්තේ එකමුතුව මේ තත්ත්වයෙන් ගොඩ එන ආකාරයයි. ඒ නිසයි අප කියන්නේ මේ වගේ වේලාවක සමාජ මාධ්‍ය තුලින් ක්‍රීඩකයන්ව දිරිමත් කළ යුතුයි කියලා. අපි වෙනසක් කළ ටීම් එකක්. එක වරෙක ඉහළට යනවා. තවත් වරෙක පහළට එනවා. අපි බලන්න ඕනේ වරද කොතැනද කියලා. අපේ මානසික මට්ටම හදාගෙන ඒ වැරද්ද නිවැරදි කරගන්න අප උපරිම උත්සහය දරනවා. අපව විශ්වාස කරන්න අපිත් එක්ක ඉන්න. ඉතිරි තරග සියල්ල රට වෙනුවෙන් උපරිමය කරන්න අපේ බලාපොරොත්තුවයි“ චාමික සදහන් කළේය.

ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරග ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම් කාලයේදී බැවින් උදෑසන සිට තරගය නැරුඹූ සියලු දෙනාට ස්තූති වන්ත වන බවත්, පළමු තරගයේදී ලද අමිහිරි අත්දැකීම සම්බන්ධයෙන් තරගය නැරැඹූ සියලු දෙනා වෙත කණගාටුව ප්‍රකාශ කරන බවත් චාමික කරුණාරත්න මෙහිදී පැවැසීය.

චාමික කරුණාරත්න නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී ලකුණු 43කට කඩුලු 4ක් දවාගෙන පන්දු යවන්නෙකු ලෙස තම උපරිම දක්ෂතාව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලබා දුන්නේය. එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම ද විය. එක්දින තරග 22කට ක්‍රීඩා කර ඇති චාමික මෙයට පෙර එක්දින ජාත්‍යන්තර තරගයකදී හොදම පන්දු යැවීම සටහන් කොට තිබුණේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 47කට කඩුලු 3ක් වශයෙනි.

“ මා හැම වේලාවෙම වෙහෙසවී වැඩ කරන කෙනෙක්. ඒ නිසා මහන්සියේ ප්‍රතිළුල පන්දු යවන්නෙකු ලෙස ලබා ගත්තා. මගේ වළලුකර ආබාධයක් තියෙනවා. ඒත් මේ තරගය අතහරින්නේ නෑ කියා මා කල්පනා කළා. ඊයේ අන්තිම හරියේ තමයි මා ක්‍රීඩා කරන බව දැන ගත්තේ. මම පළමු තරගයට ගහන්න නොවෙයි හිටියේ. මට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනයක් ගන්න උත්සහා කරනවා. රට වෙනුවෙන් දෙයක් කරන්නයි මගේ කණ්ඩායම වෙනුවෙන් යමක් කරන්නයි මට ඕනෑ. මා සාධාරණයක් කළා කියා හිතනවා. සියයට සියයක්ම බෝලිංවලින් දුන්නා“ චාමික පැවැසීය.

නවසීලන්තයට එරෙහිව පන්දු යවන්නන් හා පන්දු රකින්නන් හොද සේවයක් කළ බවත්, ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර් 10 තුලදී කඩුලු ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑම් එක්කළ බව චාමිකගේ අදහස විය.

“ පළමු ඕවර් 10දී දුර්වල පිතිකරණය අප පරාජයවීමට හේතුවයි. පළමු ඕවර් 10න් පසුව පන්දු යවන්නන්ට වැඩි වාසියක් තිබුණේ නෑ. පිතිකරුවන්ට යොග්‍ය තත්ත්වයක් උදාවෙමින් පැවැතියා. ඒගොල්ලෝ ඇවිල්ලා දෙවැනි ස්පෙල් එක දානකොට පන්දුවේ දෝලනයක් තිබුණේ නෑ. නමුත් අපි පන්දු යවද්දී හොද දෝලනයක් ආවා. ළහිරු කුමාර එනකොට, දසුන් ශානක එනකොට මේ තත්ත්වය තිබුණා. මගේ හා කසුන් රාජිතගේ පන්දු වලත් යම් දෝලනයක් ආවා. අපි හැමෝම පන්දු යැවීමේ වෙනස්කම් සමග හොද මිශ්‍රණයකින් පන්දු යැව්වා. විකට් එක හොදයි. අනික් විකට්වලට වඩා බවුන්ස් එක මේ විකට් එකේ තිබුණා. ඒ වුණත් අපි හරි කණගාටු වෙනවා. අද දවස අපේ දවස නොවෙයි“ චාමික සදහන් කළේය.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය මේ මස 28දා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භවීමට නියමිතය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar