slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2023
අයර්ලන්තය ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වූ අද (27 දා) දිනයද තමන්ගේ දිනයක් බවට පත් කරගත් නිශාන් මදුශ්ක (205) සහ කුසල් මෙන්ඩිස් (245) එක්ව  ද්විත්ව ශතකත් ඇන්ජලෝ මැතිව්ස් ශතකයකුත් (නොදැවී 100) වාර්තා කිරීමට සමත්වීම නිසා අයර්ලන්තයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 212 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

කඩුලු 3 කදී ලකුණු 704 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැගූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා නැවතත් අයර්ලන්ත පිලට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දී තිබුණේ හැකි නම් තරගයේ තවත් ඉතිරිව ඇති පන්දුවාර 120 දී (අද දිනයේ ඉතිරිව තිබු පන්දුවාර 22 ත් හෙට දිනයේ යැවීමට නියමිත පන්දුවාර 98 ත්) සිය කඩුලු ආරක්ෂා කර ගන්නා ලෙසයි.

එම අභියෝගය කර පින්නාගෙන දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත පිලේ කඩුලු 2 ක් ලකුණ 52 ක් ඇතුළත දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය සමත්වූහ. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී වර්ෂාවෙන් බාධා නොපැමිණියහොත් ඉනිමක පරාජයෙන් බේරීමට තවත් කඩුල් 8 ක් ඇතුළතදී ලකණු 158 ක් රැස් කරගත යුතු වේ.

බොහෝ දෙනාගේ අවධානය යොමුවූ කාරණයක් වූයේ පෙර දිනයේදී තම මංගල ශතකය වාර්තා කරගත් නිශාන් මදුෂ්ක අද දිනයේදී එය ද්විත්ව ශතකයක් දක්වා පරිවර්තනය කර ගැනීමට සමත්වීමයි. මැතිව් හම්ප්‍රේස්ට එල්ල කරන ලද ස්‌ක්‍යෙයාර් කට් පහරකින් හතරේ සීමාවට පන්දුව යැවූ මදුෂ්ක එම ද්විත්ව ශතකය සනිටුහන් කර ගත්තේය. මිනිත්තු 474 ක් පුරා කඩුල්ලේ රැදී සිටි මදුෂ්ක මුහුණ දුන් පන්දු 339 න් එක් වතාවක් හතරේ සීමාවට ඉහළින්ද 22 වතාවක් හතරේ සීමාවෙන් ඔබ්බටද පන්දුව යැවීමට සලස්වා තිබිණ.

මදුෂ්කට නොදෙවැනි වූ කුසල් මෙන්ඩිස් සිය 58 වැනි ටෙස්ට් තරගයේදී පළමු ද්විත්ව ශතකය රැස් කළේය. දිවා ආහාරයෙන් පසු 9 වැනි හයේ පහර එල්ල කළ කුසල් මෙන්ඩිස් මෙතෙක් කලක් ටෙස්ට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (8) එල්ල කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූ කුමාර් සංගක්කාරගේ වාර්තාව තම සින්නක්කරයට ගත්තේය. 291 වැනි පන්දුවේදී කුසල් දැවී යන විටත් ටෙස්ට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණ සිටියේය. හයේ පහර 12 ක් එල්ල කර ඇති වසීම් අක්‍රම් එම ලැයිස්තුවේ ඉහළින් සිටිද්දී කුසල් පහර 11 ක් එල්ල කරමින් දෙවැනි ස්ථානයට පත්ව සිටියි. මැතිව් හම්ප්‍රිස්ගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ කුසල් දැවී නොවන්නට අක්‍රම්ගේ ලෝක වාර්තාව සම කිරීමට හෝ නැතිනම් බිද දැමීමට ඔහුට හැකියාව තිබෙන්නට තිබිණ. හයේ පහර 11 ට අමතරව කුසල් හතරේ පහර 17 කින්ද තම ඉනිම වර්ණවත් කර ගත්තේය.

අයර්ලන්ත ඉලක්කය පසුකිරීමත් සමග ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළහ. ඒ සදහා වන හොදම සාක්ෂිය වූයේ දිවා ආහාරයත් තේ පානයත් අතර කාල සීමාවේදී යවන ලද පන්දු 135 කදී ලකුණු 160 ක් ලබා ගැනීමට පිතිකරුවන් සමත්වීමයි. එහිදී සිය 15 වැනි ටෙස්ට් ශතකය අද දිනයේදී පන්දු 114 කදී මැතිව්ස් සපුරා ගත්තේ මෙතෙක් තම දිවියේ වේගවත්ම ශතකය බවටද මෙය පත් කර ගනිමිනි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee