slc
logo
Home   |    News
මැයි 13, 2023
සැබෑ වූ චමරිගේ සිහිනය

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු, තමාගේ දායකත්වය නොමැතිව වුවද කණ්ඩායම ශක්තිමත්ව සිටීම පිළිබඳව තමා දැඩි ලෙස සතුටට පත්වන බව සඳහන් කර සිටින්නීය.

හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, විශ්මි ගුණරත්න සහ කාව්‍යා කවින්දි වැනි තරුණ ක්‍රීඩිකාවන් අද ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් දක්වන හෙයින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දීප්තිමත් අනාගතයක් ඇති බව පැහැදිලි බවද චමරි සදහන් කර සිටින්නීය. වර්තමාන තත්ත්වයට ශ්‍රී ලංකා කණ්ඩායම පත් කිරීම තමා සතුව තිබූ සිහිනයක් සැබෑවීමක් බවද ඈ පවසා සිටියාය.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල ජය ගැනීමට මැයි 12 වැනිදා පස්වරුවේ සමත්වූ අතර එම ජයග්‍රාහණයෙන් පසු අතපත්තු ඉහත අදහස් පළ කර සිටියාය.

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද, තමා විසින් පන්දු යැවීමේදී ගනු ලැබූ තීරණය එම පරාජයට හේතු වූ බවයි. බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාර කීපය යැවීමට තමා ගත් තීරණය වැරදි බව සදහන් කර සිටි චමරි, ඉදිරියේදී එවැන්නක් සිදුනොවනු ඇති බවට පොරොන්දු වූවාය.

ප්‍රථම විස්සයි 20 තරගය පරාජය වීමෙන් පසු ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක දීර්ඝ ලෙස අප සමඟ සාකච්ඡා කර ඔහුගේ අත්දැකීම් අපට අවබෝධ කර දී ක්‍රීඩිකාවන් මානසික ලෙස ඊළඟ තරග දෙකට සූදානම් විය යුතු අයුරු ධනාත්මකව වටහා දීමෙන් අපට තරගාවලිය පහසුවෙන්ම ජය ගැනීමට හැකි වූ බව ද ශ්‍රී ලංකා නායිකාව ප්‍රකාශ කළාය.

ලංකා කණ්ඩායම වෙනුවෙන් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට තමා තුළ දැඩි කැමැත්තක් පසුගිය දිනවල පැවැති බව කී චමරි අතපත්තු ලකුණු තිස් ගණන් ලබා සිටියදී තෙවරක්ම දැවී යාමෙන් දිගු ඉනිම් තමාට අහිමි වීම පිළිබඳව කණගාටු වන බවත් එහෙත් අනාගතයේදී එම අඩුපාඩුව සකසා ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසුවාය.

හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා සිව් වන කඩුල්ලට ශතකය ඉක්මවා (නොදැවී 102යි) රැස් කිරීම මත කාන්තා පිලට කඩුලු තුනකට ලකුණු 158ක් වැනි විශාල සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව සැලසුණු බව කී චමරි අතපත්තු මීට වසර පහකට පෙර හර්ෂිතා කණ්ඩායමට ඇතුළු කිරීමට තමා තීරණය කළ විට බොහෝ දෙනා අසතුට පළ කළත් ඔවුන් සියල්ල එම තීරණය ගැන දැන් සතුටු වන බව ද කීවාය.

ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට අප සුදුසුකම් තරගාවලියකින් ජයගත යුතුයි. ඒ සඳහා අප එංගලන්තය සහ නවසීලන්තය සමඟත් තරග කළ යුතු වනවා. නවසීලන්තය අප සමඟ තරග කරන්නේ ශ්‍රී ලංකාවේදීයි. එයින් තරගයක් හෝ ජයගෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම තම අපේක්ෂාව” බවද ශ්‍රී ලංකා නායිකාව පැවසුවාය.

බංග්ලාදේශ පුහුණුකරු හෂාන් තිලකරත්න අපගේ දක්ෂතා සහ දුර්වලතා හොඳින් දන්නවා සේම අපද ඔහුගේ සැළසුම් පිළිබඳව අවබෝධයකින් සිටින බව කී චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ කණ්ඩායමක් බවට පත්වීමට අද අවස්ථා උදා වූයේ කැපවීමෙන් පුහුණුවීම මත යැයි ද කීවාය.

විස්සයි-20 තරගාවලියේ පැවැති තරග 3 දීම චමරි ලකුණු 30 සීමාව ඉක්මවාල ලකුණු ලබා ගැනීමට සමත් වුවත්, එය දීර්ඝ ඉනිම කරා පරිවර්තනය කර ගැනීමට ඈ අසමත් වූවාය. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරග 2 ක් අතහැර දැමුණු තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පැවැති එකම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට මූලිකත්වය ගැනීමට චමරි සමත්වීම නිසා එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ඈ පිදුම් ලැබුවාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee