slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2023
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා – පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (22) විශිෂ්ට අයුරින් ආරම්භ කළේ පහසුවෙන්ම සත්කාරක පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි.
තරග පහකින් සමන්විත වන මේ ජාත්‍යන්තර එක්දින තරගාවලියේ සමාරම්භක තරගයේදීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලත් මේ අනගිභවනීය ජයග්‍රහණය අත්කර ගැනීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයන් තිදෙනා අතුරින් වඩාත් කැපී පෙනුණු ආරම්භක පිතිකරු පළිඳු පෙරේරා අගනා ලකුණු 156ක් රැස් කළේ දර්ශනීය පිතිහරඹයක නියැළෙමින් හතරේ 17ක් සහ හයේ පහර හයක් ද එල්ල කරමිනි.
ශ්‍රී ලංකා ජයග්‍රහණය උදෙසා උරදුන් අනෙක් ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනා වූයේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රියා කළ දිනුර කළුපහන (32/4) සහ ගරුක සන්කෙත්ය (42/3යි). මොවුන් දෙදෙනාගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ප්‍රථම කඩුලු හතරම දැවී ගියේ ලකුණු හැටක් තුළදීය. එම කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනකුම දැවී ගියේ ලකුණු දහයක් ලබා ගැනීමටත් පෙර වීම ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හොඳින් පිළිබිඹු වීමකි.
මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49.4කදී රැස් කළ ලකුණු 309ට පිළිතුරු ලෙස පාකිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 45.4කදී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 251කි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ යොවුන් පිතිකරුවනට ලකුණු 300 ඉක්මවා යාමට අවස්ථාව උදා වූයේ පළිඳු පෙරේරා ප්‍රධාන භූමිකාව රඟ දක්වමින් දිගු සබඳතා තුනකටම මුල් පිරීමෙනි.
එම සබඳතාවයන් වූයේ දෙවන කඩුල්ලට පළිඳු සමඟ රවිෂාන් ද සිල්වා (30) එක් කළ ලකුණු 136ත් තෙවන කඩුල්ලට පළිඳු සහ විෂේන් හැළඹගේ (25) එක් කළ ලකුණු 52ත් සිව් වන කඩුල්ලට පළිඳු සමඟ සරුජන් ෂන්මුගනාදන් (24) රැස් කළ ලකුණු 48ක සබඳතාවත්ය. මේ සබඳතා පවතින විට වරක් ලංකා කණ්ඩායම ලකුණු 240කට කඩුලු තුනක් පමණක් දැවී ප්‍රබලම තත්ත්වයක පසු විණි.
දක්ෂ පතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා යොවුන් මැද පෙළ පිතිකරුවන් මේ අයුරින් දස්කම් දැක් වූයේ රවිෂාන් ද සිල්වා පන්දු 74කට මුහුණදී හතරේ පහරක් සමඟ ලකුණු 30ක් ද විෂේන් හැළඹගේ පන්දු 18කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 25ක් ද සරුජන් ෂන්මුගනාදන් පන්දු 31කදී හතරේ හතරක් සමඟ නොදැවී ලකුණු 24ක් ද ලබා ගනිමිනි.
ලකුණු 310ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට පාකිස්තාන යොවුන් කණ්ඩායම පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා දිනුර කළුපහන සහ ගරුක සන්කෙත් දැක් වූ විශිෂ්ට දස්කම් හමුවේ පාකිස්තාන ආරම්භක පිතිකරු ටයාබ් අරිෆ් (00) අංක තුන පිතිකරු සාඩ් බෙග් (04) අංක හතර පිතිකරු නුමාක් අමාර් (05) සහ අංක පහ පිතිකරු නම්ෂා නවාෂ් (17) කළින්ම දැවී යාමත් සමඟ ඔවුනට තරගයට නැවත අවතීර්ණවීම අසීරු කරුණක් විය.
ආරම්භක පිතිකරු ෂාමිල් හුසේන් (98) සහ අරෆට් මින්හස් (84) පස්වන කඩුල්ලට ලකුණු 153ක සබඳතාවයක් තබා ගැනීම මත ඔවුනට ලකුණු 200 සීමාව ඉක්මවීමට අවස්ථාව උදා විණි.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49.4කදී සියල්ල දැවී ලකුණු 309යි – (පුළිඳු පෙරේරා 156, රවිෂාන් ද සිල්වා 30, විෂේන් හැළඹගේ 25, සරුජන් ෂන්මුගනාදන් 24, විශ්ව ළහිරු 14, මොහමඩ් ඉබ්ටිසාන් 41/2, අහමඩ් හුසේන් 52/2, අරෆට් වින්හස් 61/2)

පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 45.4දී සියල්ල දැවී 251යි – (ෂාමිල් හුසේන් 98, අරෆට් මින්හස් 84, දිනුර කළුපහන 32/4, ගරුක සන්කෙත් 42/3, රවිෂාන් පෙරේරා 51/2).

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee