ශ්‍රී ලාංකේය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන තනතුරු රැසකට පණ පෙවූ ප්‍රකට පරිපාලකයකු වූ ලූෂන් මිරන්නගේ මහතා සිය ජීවන දිවි ගමනට සමුදී තිබේ. මිය යන විට 81 වැනි විය පසුකරමින් සිටි ඒ මහතා හිටපු උප භාණ්ඩාගාරිකවරයකු ලෙස මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවද නියෝජනය කළ අයෙකි.
පළමුව 1998 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික ලෙස පත්වන මිරන්නගේ මහතා 2005 වන තෙක් වූ කාලයේදී එම ධුරයේ කටයුතු කරනු ලැබිය. 1942 වසරේ නොවැම්බර් මස 06 වැනිදා උපත ලද මිරන්නගේ මහතා, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරනු ලබන විනය කමිටුවේද වසර ගණනාවක් කටයුතු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අප්‍රෙමේය මෙහෙයක් ඉටු කිරීමට දායකත්වයක් දැක්වූ අයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දරන ලද තනතුරුවලට අමතරව ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසින් වසර 8 කට වැඩි කාලයක් කටයුතු කළ ඒ මහතා දෙවැනි පෙළ කොටස නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කැලණිය ක්‍රිකට් ක්‍රීඩා සමාජය නිර්මාතෘවරයා ලෙසින් මෙන්ම මුත්වෝල් ක්‍රීඩා සමාජයහි සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.
නවලෝක සමූහායතනයේද සාමාන්‍යාධිකාරීවරයකු ලෙසින්ද කටයුතු කළ මිරින්නගේ, වත්තල ශාන්ත අන්තෝනි විදුහලින් ගුරුහරුකම් ලබා ගත්තේය. මාලනී මිරින්නගේ මැතිණියව සිය ජීවන ගමනේ සහකාරිය කරගත් මිරින්නගේ මහතා දරුවන් සිව් දෙනෙකු වෙනුවෙන් පිය සෙනෙහස ලබා දුන්නේය. ඒ මහතාට වැඩිමහලු දියණිවරුන් තිදෙනෙකු සහ එක් පුතණුවකු සිටියි. ක්‍රිස්ෂ්මලීන්, සමීරා, ටාරිකා දියණිවරුන් තිදෙනා වන අතර සුරීන් ඔහුගේ එකම පුත්‍රයා වෙයි.
මෙරට ක්‍රිකට් පරිපාලනයට සදාදරණීය මතකයන් රැසකටම හිමිකම් කියන මිරින්නගේ මහතා අවසන් කටයුතු ඔක්තෝම්බර් මස 12 වැනිදා දළුගම ෆ්‍රැන්සිස් දෙව්මැදුරේදී සිදුකිරීමට නියමිත අතර ප.ව. 3.00 ට කැලණිය, ගෝණවල පාරේ අංක 207/10A දරණ ඒ මහතාගේ නිවසෙන් දේහය රැගෙන යනු ඇත.