slc
logo
Home   |    News
ජූලි 29, 2024
ආසියානු ශූරියන් වී රටට ගෞරවයක් ලබාදීමට හැකිවීම සතුටක් – චමරි අතපත්තු

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ ආකාරයෙන් උපරිම දක්ෂතා දක්වන්නේ නම් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කිරීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස  සම්මාන ලද චමරි අතපත්තු තරගයෙන් පසුව ප්‍රකාශ කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකාව කාන්තා ආසියානු ක්‍රිකට සූරතාව දිනා ක්‍රීඩා ලෝලීනට සතුටක් මෙන්ම රටට ගෞරවයක් ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව ද සතුටු වන බව ද සඳහන් කර සිටියාය.

“වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් මෙන්ම තරුණ ක්‍රීඩිකාවන් ද ඉතාමත් දක්ෂයි. අප උපරිම දක්ෂතා දැක්වුවහොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ඇති බව අවසාන තරගයේ දී ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයටම පෙන්වීමට හැකියාව ලැබුණා“ යැයිද චමරි අතපත්තු කීවාය.

දෙවන කඩුල්ල ලෙස දැවී ගිය අවස්ථාවේ කණස්සල්ලකින් පසු වුයේ මන්දැයි විමසු විට චමරි සඳහන් කර සිටියේ මෙලෙසිනි. “මා තව ලකුණු 20 – 30ක්  එක්කර දුන්නා නම් කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවන් ඉතිරි ලකුණු ලබා ගන්නා බව මා දැන සිටියා. මගෙන් එම අවස්ථාව ගිළිහී යාම ගැනයි මා කණගාටුවට පත් වුයේ“ යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන්ම ගෙන  යාමට තෙවන කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 69) සහ කවීෂා දිල්හාරි (නොදැවී 30) එක්ව පන්දු 40ක දී නොදැවී ලකුණු 73ක් රැස් කළ ආකාරය දුටු තමා පවා මවිතයට පත් වූ බව ද මෙහිදී ශ්‍රී ලංකා නායිකාව ප්‍රකාශ කළාය.

“ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් දක්ෂ ලොව ප්‍රබලම කාන්තා ක්‍රිකට් කණ්ඩායමක්. අවසාන මහා තරගයේ දී ඔවුන් වරක් දෙවරක්ම අප අභිබවා ඉදිරියට යාමට උත්සාහ ගත්තා. එම අවස්ථා අතනොහැර එල්ලී සිටීම අපගේ සාර්ථකත්වයට තවත් හේතුවක් වුවා“.

“දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතිල්ල උසස් මට්ටමක පවතිනවා. අපගේ දෙවන කඩුල්ලට ලකුණු 87ක සබඳතාවයක් පවත්වා ගැනීමට හර්ෂිතා සමරවික්‍රමගෙන් මට විශාල සහයක් ලැබුණා. එහිදී අප දෙදෙනා ඉන්දීය පන්දු රකින්නියන් අතරින් දුර්වල පන්දුවලට පහර එල්ල කර හොඳින් ලකුණු රැස් කළා යැයි ද ශ්‍රී ලංකා නායිකාව ප්‍රකාශ කළාය.

 ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය ද අයත් ප්‍රබලම කොටසකට බව පවසන චමරි අතපත්තු එම තරගාවලියේ දී ද රටට ගෞරවයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ද කීවාය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීනට විශේෂ ස්තුතියක් කළ ශ්‍රී ලංකා නායිකාව ක්‍රීඩාංගණය පිරෙන්නටම ප්‍රේක්ෂක ජනතාව පැමිණ අපව දිරිමත් කිරීමට ඔවුන් දැක් වු සහයෝගය කුසලානය දිනා ගැනීමට විශාල අත්වැලක් වූ බව ද ප්‍රකාශ කළාය.

 හර්ෂිතා මෙසේ කියයි

 අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු හර්ෂිතා සමරවික්‍රම අදහස් දක්වමින් තමා දෙවන කඩුල්ලට පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ලකුණු අතර සිටි නායිකාව චමරි අතපත්තු කඩුල්ලේ සිටීම තමාට පහසු කරුණක් වූ හෙයින් පීඩනයකින් තොරව හොඳින් පන්දුවට පහර දීමට අවස්ථාව උදා වූ බව පැවසුවාය.

 චමරි දැවී ගිය පසු කවීෂා දිල්හාරි පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ චමරි ගෙන ගිය ලකුණු රැස් කිරීමේ වේගය රඳවා ගැනීමට තම දක්ෂතා උපයෝගී කර ගනිමින් හතරේ පහර කිහිපයක් ද ලබා ජයග්‍රහණ ඉලක්කය කරා ගිය බව ද ඇය පැවසුවාය.

 තමා අතින් උඩපන්දු දෙකක් අතහැරුනත් මා ක්‍රීඩා මණ්ඩපයට ගිය අවස්ථාවේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මාව දිරි ගන්වා නිදහසේ හොඳින්ම ලකුණු රැස් කරන ලෙසට උපදෙස් දුන් බවත් කවීෂා සමඟ ලකුණු රැස් කරද්දී බොහෝ විට ලකුණක් පමණක් තිබු පහරවලින් ලකුණු දෙකක් කරා යාමට ද හැකි වු බව ද කීවාය.

 මගේ පවුලේ සාමාජිකයන් සහ විශාල ජනකායක් ඉදිරියේ ප්‍රථම වරට මෙලෙස ක්‍රීඩා කරමින් අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට ලැබීම පිළිබඳව සතුටු වන බව කී හර්ෂිතා මාධවී සමරවික්‍රම තම කණ්ඩායමේ මීළඟ අරමුණ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට අත්කර දීමෙන් රටට ගෞරවයක් ගෙන ඒම බව ද කීවාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee