බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) උදයවරුවේ පැවැති ගෝල් – කළම්බු තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර මුලින් පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම අසීරු තත්ත්වයක සිටිය දී නායිකාව රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 50ක් රැස් කර පසුව ලකුණු 21කට කඩුලු දෙකක් දවා තම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යාමට මුල්වුවාය.
මේ තරගාවලියේ දී ගෝල් අවුරුදු 19න් පහළ බාලිකාවෝ පිට පිටම ලබාගත් තෙවැනි ජයග්‍රහණය මෙය වේ. ගෝල් නායිකාව අද නොදැවී අර්ධ ශතකයක් රැස් කළේ තම කණ්ඩායම ලකුණු 53කට කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දීය.
මෙදින ගෝල් ඕවර 20 අවසානයේ කඩුලු අටකට රැස් කළ ලකුණු 112 හඹායද්දී කළම්බු සිය ඕවර 20 අවසානයේ කඩුලු අටකට ලබා ගත්තේ ලකුණු සියයකි.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ මෙදිනම සවස පැවැති කැන්ඩි – දඹුල්ල තරගයේ දී කැන්ඩි කණ්ඩායම කඩුලු හයකින් ජයගත්තේ තරගයේ අවසාන පන්දුවේදීය. දඹුල්ල ඕවර 20 කඩුලු 7කට රැස් කළ ලකුණු 113ට පිළිතුරු ලෙස කළම්බු ඕවර 19.5කදී කඩුලු හතරකට ලකුණු 114ක් ලබා එම ජය අත්කර ගත්තේය. අවසාන ඕවරයේ දී කැන්ඩි කණ්ඩායමට ලකුණු 10ක් අවශ්‍ය වූ අතර ඔවුන් එය ලබා ගත්තේ පන්දු පහකට පමණක් මුහුණ දෙමිනි.
කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් සඳුනි බෝලවත්ත, කවිෂ්කා අබේරත්න සහ අසිනි තලගුණේ ද දඹුල්ල වෙනුවෙන් ශ්‍යානි තෙන්නකෝන් සහ ධනෝද්‍යා සෙව්මිණි දස්කම් දැක්වුහ.
• ගෝල් ලකුණු 12කින් කළම්බු පරාජය කරයි.
ගෝල් සහ කළම්බු අවුරුදු 19න් පහළ බාලිකාවන් අතර අද (10) උදෑසන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ගෝල් නායිකාව රශ්මිකා සෙව්වන්දි තුන් ඉරියව්වේම දැක් වූ දක්ෂතා මත ගෝල් කණ්ඩායමට ලකුණු 12කින් කළම්බු පරාජය කිරීමට අවස්ථාව උදා විණි.
ගෝල් කඩුලු 8කට රැස් කළ ලකුණු 112ට (ඕවර 20) පිළිතුරු ලෙස කළම්බු කණ්ඩායම සිය ඕවර 20 අවසානයේ කඩුලු අටක් දැවී රැස් කළේ ලකුණු 100කි. ගෝල් නායිකාව රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 50ක් රැස් කර පසුව ලකුණු 21කට කඩුලු 2ක් දවා තම කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩිම දායකත්වය ලබා දුන්නාය.
ගෝල් කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙද්දී වෙනදා ලකුණු අතර සිටි ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා හිරුණි හංසිකා (00) සංජානා කාවින්දි (15) සහ අංක තුන පිතිකාරිණිය සුමුදු නිසංසලා (04) මුළු ලකුණු 27ක් වන විට දැවී යාමෙන් කණ්ඩායම පත්වුයේ අසීරු තත්ත්වයකටය. මෙහිදී හිරුණි හංසිකා දැවී ගියේ තරගයේ දෙවන පන්දුවටය.
ගෝල් කණ්ඩායම ඕවර 11.2ක් වන විට මුළු ලකුණු 53ක් සඳහන්වෙද්දී කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයක සිටිය දී අංක පහ පිතිකාරිණිය නායිකාව රශ්මිකා සෙව්වන්දි පන්දු 43කට මුහුණ දී හතරේ පහර හයක් සමඟ නොදැවී ලකුණු 50ක් රැස් කරමින් වේගවත් පිතිහරඹයක නියැලුණේ කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන එමිනි.
මෙහිදී රශ්මිකා හයවන කඩුල්ලට චමෝදි මුණසිංහ (08) සමඟ ලකුණු 36ක සබඳතාවයක් ද අටවන කඩුල්ලට රිස්මි සංජානා (09) සමඟ ලකුණු 23ක සබඳතාවයක් ද පවත්වා ගැනීමට සමත් විණි. ගෝල් කණ්ඩායමේ අනෙක් වැඩිම ලකුණු ලාභීන් වුයේ සංජානා කාවින්දි (ලකුණු 15යි පන්දු 18යි හතරේ දෙකයි) සහ නේත්රාංගි ඉසුරංජලීය. (ලකුණු 10යි පන්දු 13යි හතරේ පහරයි)
කළම්බු කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඉදිරිපෙළ පිතිකාරිණියන් පහක්ම මුළු ලකුණු 14ක් වන විට දැවී ගියේ ඕවර 5.5ක් වනවිටය.
පසුව අංක හය පිතිකාරිණිය විශ්මි සොයිසා ලකුණු 24ක් ද (පන්දු 33යි හතරේ පහරයි) අංක හත පිතිකාරිණිය උමායා රත්නායක ලකුණු 19ක් ද (පන්දු 23යි හතරේ තුනයි) සහ අංක අට පිතිකාරිණිය දහමි සෙනෙත්මා නොදැවී ලකුණු 35ක් ද (පන්දු 34යි හතරේ පහයි) රැස් කළේ කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත් කරමිනි. එහෙත් කළම්බු ඉනිමේ ඕවර 20 නිම වන විට ඔවුන් පසු වුයේ තවත් ලකුණු 13ක් පිටුපසිනි.
ගෝල් ඕවර 20දී කඩුලු 8ට 112යි – (රශ්මිකා සෙව්වන්දි නොදැවී 50, සංජානා කාවින්දි 15, නේත්රාංගි ඉසුරංජලී 10, රිස්මි සංජානා 09, චමෝදි මුණසිංහ 08, දහමි සෙනෙත්මා 23/2, විශ්මි සොයිසා 11/2, ඔමාලි අදීෂා 20/2යි)
කළම්බු ඕවර 20කදී කඩුලු 8ට 100යි – (දහමි සෙනෙත්මා නොදැවී 35, විශ්මි සොයිසා 24, උමායා රත්නායක 19, රශ්මි නේත්‍රාංජලී 15/3, රශ්මිකා සෙව්වන්දි 21/2, චමෝදි මුණසිංහ 10/1යි)
• කැන්ඩි කඩුලු හයකින් දඹුල්ල පරාජය කරයි
කැන්ඩි ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් කරායද්දී පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී එය සපුරා ගැනීමට සමත් විණි. කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසාන ඕවරයේ දී ලකුණු දහයක් අවශ්‍ය වු අතර එය සපුරා ගැනීමට කවිෂ්කා අබේරත්න (නොදැවී 23) සහ මිතාලි අයෝධ්‍යා (නොදැවී 08) සමත් වුහ. මේ පිතිකාරිණියන් දෙදෙනා පස්වන කඩුල්ලට එක් කළ සබඳතාව පන්දු 17කදී ලකුණු 26කි.
මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතකට රැස් කළ ලකුණු 113ට පිළිතුරු ලෙස කැන්ඩි ඕවර 19.5කදී කඩුලු හතරකට ලකුණු 114ක් රැස් කරමින් මේ ජයග්‍රහණය ලැබීය.
දඹුල්ල මුලින් පන්දුවට පහරදෙද්දී ශ්‍යානි තෙන්නකෝන් ලකුණු 30ක් ද (පන්දු 36යි හතරේ හතරයි) ධනෝද්‍යා සෙව්මිණි නොදැවී ලකුණු 24ක් ද (පන්දු 30 හතරේ තුනයි) සහ වගීෂා ජයවර්ධන ලකුණු 12ක් ද (පන්දු හතයි හතරේ පහරයි) වැඩිම ලකුණු ලැබීය.
දෙවන කඩුල්ලට ආරම්භක පිතිකාරිණිය ශ්‍යානි තෙන්නකෝන් සහ අංක තුන පිතිකාරිණිය දිනායා ගමගේ ලකුණු 39ක සබඳතාවයක් ද හයවන කඩුල්ලට නෙත්මි උපේක්ෂා (09) සහ ධනෝද්‍යා සෙව්මිණි (නොදැවී 24) ලකුණු 25ක සබඳතාවයක් ද තබා ගත්හ. දක්ෂතම පන්දු යැවීම වාර්තා කළ අසිනි තලගුණේ කඩුලු දෙකක් දවාලුවේ ලකුණු පහක් පමණක් ලබාදෙමිනි.
කැන්ඩි ලකුණු 114ක ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකාරිණිය සඳුනි බෝලවත්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු 33ක් රැස් කළේ පන්දු 46කට මුහුණ දී හතරේ පහර හතරක් ද එල්ල කරමිනි. ආරම්භක කඩුල්ලට සමඟ හිරුණි දිසානායක (07) රැස් කළ ලකුණු සංඛ්‍යාව 26කි.
දෙවන කඩුල්ලට සඳුනි සහ විමෝක්ෂා බාලසූරිය (ලකුණු 11යි පන්දු 12යි හතරේ පහරයි) තැබු සබඳතාවය ලකුණු 31කි. මීට අමතරව දක්ෂ පිතිහරඹයක නියැලුණු කවිශ්කා අබේරත්න නොදැවී ලකුණු 23ක් රැස් කළේ පන්දු 26කදී හතරේ දෙකක් සමගිනි.
දඹුල්ල අවුරුදු 19න් පහළ ඕවර 20දී කඩුලු 7ට 113යි – (ශ්‍යානි තෙන්නකෝන් 30, ධනෝද්‍යා සෙව්මිණි නොදැවී 24, වගීෂා ජයවර්ධන 12, අසිනි තලගුණේ 5/2, නිරාෂා ගිම්හානි 14/1, කවිෂ්කා අබේරත්න 7/1)
කැන්ඩි අවුරුදු 19න් පහළ ඕවර 19.5කදී කඩුලු 4ට 114යි – (සඳුනි බෝලවත්ත 33, කවිෂ්කා අබේරත්න නොදැවී 23, මොක්ෂා බාලසූරිය 11, මිතාලි අයෝධ්‍යා නොදැවී 08, ධනෝද්‍යා සෙව්මිණි 14/1, චලනිකා කවීෂා 15/1යි)