slc
logo
Home   |    News
අගෝස්තු 21, 2024
සමාරම්භක දිනයේදී සුහස් සහ කවීජ ශතක රැස් කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න් පහළ බාළක ක්‍රිකට් තරගාවලි සමාරම්භක දිනය වූ අද (21) දිනයේදී කොළඹ දකුණ කණ්ඩායමේ සුහස් ප්‍රනාන්දු (103) සහ කැන්ඩි පිලේ කවීජ ගමගේ (100) ශතක වාර්තා කරමින් කැපී පෙනිණ.

අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු සවුත් සහ කළම්බු නෝර්ත් අතර තරගය නිමවීමට පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු තුනකින් ජය ගැනීමට කළම්බු නෝර්ත් කණ්ඩායම සමත් විය. අයහපත් කාලගුණය මත එක් කණ්ඩායමකට පන්දුවාර 36ක් වනසේ පැවැති මේ තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් කළම්බු සවුත් කණ්ඩායම පන්දුවාර 36කදී කඩුලු තුනකට රැස් කළ ලකුණු 247ට පිළිතුරු ලෙස කළම්බු නෝර්ත් පන්දුවාර 35.5කදී කඩුලු හතකට ලකුණු 250ක් රැස් කරමින් මේ තියුණු ජයග්‍රහණය ලැබීය.

 කළම්බු නෝර්ත් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 248 හඹායද්දී පන්දුවාර 35ක් නිම වන විට ඔවුන් කඩුලු පහකට ලබා සිටියේ ලකුණු 241කි. ජයග්‍රහණයට අවසාන පන්දු වාරයේ ලකුණු හතක් අවශ්‍ය විණි. පන්දුවාර 35.4ක් වන විට ඔවුන් කඩුලු හතකට ලකුණු 246ක් ලබා සිටි අතර පස්වන පන්දුවට මුහුණ දුන් නවක පිතිකරු රමිත නිම්සර (අංක නවය පිතිකරු) තම ප්‍රථම පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේය.

 මේ අතර කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අතර පැවැති තරගයට අයහපත් කාලගුණය බලපෑමෙන් එම තරගය අතර මඟ නතර කැරිණි. මේ තරගය ද අයහපත් කාලගුණය මත ආරම්භ වුයේ කණ්ඩායමකට පන්දුවාර 38ක් ලැබෙන පරිදිය.

 කැන්ඩි කඩුලු 7කට රැස් කළ ලකුණු 253ට (පන්දුවාර 38කදී) පිළිතුරු ලෙස ගෝල් පන්දුවාර හතරක දී කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වුයෙන් තරගය අත්හිටුවනු ලැබීය.

ශතක ලාභීන් වූ ආරම්භක පිතිකරු සුහස් ප්‍රනාන්දු තම ලකුණු 103 සදහා පන්දු 110කදී හතරේ 15ක් හයේ පහරක් ද කැන්ඩි නායක කවිජ ගමගේ තම ලකුණු 100 සඳහා පන්දු 62කට මුහුණ දුන්නේ ඊට හතරේ පහක් හයේ පහර අටක් ද ඇතුළත් කරමිනි.

සුහස් ප්‍රනාන්දු සහ රෙහාන් පීරිස් කළම්බු සවුත් ප්‍රථම කඩුල්ලට පන්දුවාර 10.5කදී ලකුණු 49ක් ද සුහස් සහ ඇසදිස ද සිල්වා දෙවන කඩුල්ලට පන්දුවාර 22.4කදී ලකුණු 150ක සබඳතාවයක් ද තබා ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු දෙකකට ලකුණු 199ක් ලෙස ඉහළ මට්ටමක පවත්වා ගනිමිනි.

 මෙයට අමතරව කළම්බු සවුත් කණ්ඩායමේ සාර්ථකම සබඳතාව වුයේ සිව්වන කඩුල්ලට ඇසදිස ද සිල්වා සහ නායක විමත් දින්සර (නොදැවී 01) සිව්වන කඩුල්ලට පන්දු 11කදී (පන්දුවාර 1.5) නොදැවී එක් කළ ලකුණු 42ක සබඳතාවයයි.

කළම්බු නෝර්ත් ලකුණු 248ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පිවිසි අවස්ථාවේ එම කාර්යය කරා යාමට ඔවුනට පූර්ණ දායකත්වය දුන් පිතිකරුවන් වුයේ අංක හය පිතිකරු රමිත් බණ්ඩාර නොදැවී ලකුණු 73ක් ද (පන්දු 61යි හතරේ අටයි හයේ දෙකයි) ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා ලකුණු 52ක් ද (පන්දු 22යි හතරේ හතරයි හයේ පහයි) අංක පහ පිතිකරු රහීඩ් කරීම් ලකුණු 38ක් ද (පන්දු 48යි හතරේ හතයි) අංක හත පිතිකරු ලිතුම් සෙනුජ ලකුණු 38ක් ද (පන්දු 46යි හතරේ දෙකයි හයේ පහරයි) රැස් කළහ.

 මේ කණ්ඩායමේ සාර්ථකම සබඳතාවයන් වුයේ හයවන කඩුල්ලට රමිත් බණ්ඩාර සහ ලිතුම් තෙනුජ රැස් කළ ලකුණු 91 (පන්දුවාර 13.4) සහ පස්වන කඩුල්ලට රමිත් බණ්ඩාර සහ රහීඩ් කරීම් එක් කළ ලකුණු 50 (පන්දුවාර 9.5) වේ.

කළම්බු නෝර්ත් කණ්ඩායමට ජය අත්වුයේ අංක නවය පිතිකරු රමිත නිම්සර ඔහු මුහුණ දුන් 36 වන පන්දුවාරයේ පස්වන පන්දුවට (ඔහුගේ ප්‍රථම පන්දුව) හතරේ පහරක් එල්ල කරමිනි.

  • කැන්ඩි – ගෝල් තරගයේ විසඳුමක් නෑ

 සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 38 අවසානයේ කඩුලු හතකට රැස් කළ ලකුණු 253ක ඉලක්කය හඹායද්දී ගෝල් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 28ක් (පන්දුවාර හතරකදී) ලබා සිටිය දී අයහපත් කාලගුණය බලපැවැත්වීමෙන් තරගය අතර මඟ නතර කැරිණි.

 කැන්ඩි කණ්ඩායමේ නායක කවිජ ගමගේ නොදැවී ලකුණු 100ක් ද ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක ලකුණු 50ක් ද (පන්දු 65යි හතරේ හයයි හයේ පහරයි) අනෙක් ආරම්භක පිතිකරු දිමන්ත මහාවිතාරණ ලකුණු 29ක් ද (පන්දු 46යි හතරේ තුනයි) කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීහු බවට පත්වුහ.

 ඔවුනගේ හොඳම සබඳතාවයන් වුයේ ප්‍රථම කඩුල්ලට කාශ්‍යප දිසානායක සහ දිමන්ත මහාවිතාරණ එක් කළ ලකුණු 91 (පන්දුවාර 16.4) හත්වන කඩුල්ලට කවිජ ගමගේ සහ ඇඩම් හිල්මි එක් කළ ලකුණු 53 (පන්දුවාර 7.4) සහ අටවන කඩුල්ලට කවිජ ගමගේ සහ දසුන් වලිඅංග එක් කළ ලකුණු 49 (පන්දුවාර තුනකදී) වේ.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දී තරගය නතර කරන විට ගෝල් වෙනුවෙන් (28/0යි) ආරම්භක පිතිකරුවන් දෙදෙනා දුල්සර දර්ශන නොදැවී 16ක් ද (පන්දු 16යි හතරේ පහරයි හයේ පහරයි) විනෝද් ධනුෂ්ක නොදැවී ලකුණු 11ක් ද (පන්දු 8යි හතරේ දෙකයි) ලබා සිටියහ.

  • කළම්බු නෝර්ත් කඩුලු තුනකින් ජය ගනී.

 කළම්බු සවුත් පන්දුවාර 36කදී කඩුලු 3ට 247යි – (සුහස් ප්‍රනාන්දු 103, ඇසදිස ද සිල්වා 69, රමිරු පෙරේරා නොදැවී 45, රෙහාන් පීරිස් 22, මෙවන් දිසානායක 31/1, රමිත නිම්සර 46/1)

 කළම්බු නෝර්ත් පන්දුවාර 35.5කදී කඩුලු 7ට 250 – (රමිත් බණ්ඩාර නොදැවී 73, දුල්නිත් සිගේරා 52, රහීඩ් කරීම් 38, ලිතුම් සෙනුජ 38, කිත්ම විදාණපතිරණ 22, චිතුම් බැද්දගේ 35/2, රමිරු පෙරේරා 27/2, අභීත් පරණවිදාන 38/1යි)

  • කැන්ඩි – ගෝල් තරගයේ විසඳුමක් නෑ

 කැන්ඩි පන්දුවාර 38කදී කඩුලු 7ට 253යි – (කවිජ ගමගේ නොදැවී 100, කාශ්‍යප දිසානායක 50, දිමත මහාපතිරණ 29, ඇඩම් හිල්මි 23, ලිඳුළ නුවන්ග 32/2, ගිම්හාන රසාංජන 32/2, දුල්සත් නිමවිරු 31/2, විරාන් චමුදිත 36/1)

 ගෝල් තරගය නතර කරන විට පන්දුවාර 4කදී කිසිවකු නොදැවී 28 – (දුල්සර දර්ශන නොදැවී 16, විනෝද් ධනුෂ්ක නොදැවී 11යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee