By Chamila Karawita
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවූයේ 2019 වර්ෂයේදීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ටෙස්ට් ශූරතාවලිය ලොවට හඳුන්වාදීමෙන් පසු කණ්ඩායම් දෙකම එම තරග සංචාරය යටතේ මුණ ගැසුණේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක වූ ටීෂර්ටයේ පිටුපස පළමු වතාවට ඉලක්කම්ද රඳවාගනිමිනි. පළමු තරගය ගාල්ලේදීත් දෙවැනි තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්විණ.
කවදත් වාසනාවන්ත යැයි සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් කොළමට ඒමට පෙර තරගාවලිය 1-0 ක් ලෙස ඉදිරියට පැමිණියේය. කොළඹට පැමිණීමේදී ශ්‍රී ලංකාවට තිබුණේ දිනූ ජයග්‍රහණය රැක ගැනීම පමණි. එහෙත් සිදුවූයේ අනෙකකි. දින එකහමාරකට වඩා වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා පැමිණිනු පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබීය. ඒ ඉනිමක සහ ලකුණු 65 කිනි. එපමණක් නොව තරගාවලියද 1-1 ක් ලෙස සමව අවසන් වූයේ දෙපිළටම ටෙස්ට් ලෝක ශූරතාවයේ ලකුණු සමසේ බෙදී යමිනි. එම ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලිය නිමා කරන ලද්දේ ලොව පළමු වතාවට පවත්වන ලද ටෙස්ට් ලෝක ශූරතාවයේ ශූරයින් බවට පත්වෙමිනි.
ඉන් වසර 5 ක ඇවෑමෙන් පසු නවසීලන්ත කණ්ඩායම යළිත් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ඒත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිට සහභාගිවීමටය. 2019 තරගාවලියේ කාබන් කොපියක් බඳු මේ තරගාවලියේ හෙට තරග ආරම්භයට පෙර ඇත්තේ එකම වෙනසකි. ඒ එදා දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණු පී. සරා ඕවල් ක්‍රීඩාංගණය, නොව හෙට තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ වීමයි. එදා පරිදම දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුසු සටහනට අනුව ශ්‍රී ලංකාව දැන් රැඳී සිටින්නේ තෙවැනි ස්ථානයේය. එහි ශ්‍රී ලංකාවට ඇති තවත් වක්රාකාර වාසියක් වී ඇත්තේ ඔවුනට ඉදිරියෙන් සිටින අනෙක් රටවල් ශ්‍රී ලංකාවට වඩා වැඩි ටෙස්ට් තරග සංඛයාවකට ක්‍රීඩා කර තිබීමය. මේ කාරණා එකින් එක ගලපා බැලීමේදී මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොද අවස්තාවක් නිර්මාණය වී තිබෙන බවට අනුමාන කළ හැක. එහෙත් වැදගත් වන්නේ එදා රැක ගැනීමට නොහැකි වූ දිනූ දේ හෙට දිනයේ ආරම්භ වන ටෙස්ට් තරගයේදි රැක ගැන්ම වේ. ඒ වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් එකට එකතුව සිය උපරිම දක්ෂතාවයන් වෙත පැමිණිය යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශ කර අවසන්ය. ඒ පළමු ටෙස්ට් තරගයට සහභාගිවුණු කණ්ඩායමේ ස්ථානය දෙකක් වෙනස් කරමිනි. පළමු ටෙස්ට් තරගයේ පන්දුව14 ක් පමණක් යැවූ ළහිරු කුමාර වෙනුවට මිලාන් රත්නායකවද, පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් වෙනුවට කෝඩුකාර නිශාන් පීරිස් සමඟින් ශ්‍රී ලංකාව හෙට නවසීලන්තයට එරෙහිව කඳවුරු බඳිනු ඇත.
පළමු පෙළ තරග 41 කින් කඩුලු 172 ක් දවා ගනිමින් දිවියේ කැපී පෙනන දක්ෂයෙක් බවට පත්ව සිටින නිශාන් පීරිස් හෙට තරගයේදී මංගල ටෙස්ට් වරම් දිනා ගනු ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම දිනාගනු ලබන 167 වැනි ක්‍රීඩකයා බවට හෙට දිනයේදී ඉතිහාස ගත වන නිශාන් පීරිස්ට ඇත්තේ ද සුලු පටු වගකීමක් නොවේ. 27 වැනි වියේ පසුවන නිශාන් හෙට දිනයේදී ස්ථානගත වනු ලබන්නේ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6 ක් දවා ගැනීමට සමත් රමේෂ් මෙන්ඩිස් වෙනුවටය. එබැවින් කණ්ඩායම් කලමනාකාරීත්වය ඔහු පිළිබඳව තබා තිබෙන විශ්වාසය ඉහළින්ම ආරක්ෂා කර ගැනීම ඔහු හමුවේ ඇති මංගල අභියෝගයයි.
කෝඩුකාරයාගේ අභියෝගය එවන් තැනක පසුවද්දී එංගලන්ත තරග සංචාරයේදී කැපී පෙනන දක්ෂතා දැක්වූ මිලාන් රත්නායක හෙට ක්‍රීඩා කරන අනෙක් ක්‍රීඩකයා වෙයි. වේග පන්දු යවන්නකු වුවද ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ඇත්තෙකි.
කෙසේ වෙතත් නවසීලන්ත කඳවුරෙන්ද හෙට දිනයේදී වෙනස්කමක් බලාපොරොත්තු විය හැකි අතර එහිදී මිචෙල් සැන්ට්නර් වෙනුවට මයිකල් බ්‍රේස්වෙල් කැඳවීමට ඉඩ කඩ තිබේ. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සැන්ට්නර් ලකුණු 115 ක් ලබා දුන්නද ඔහුට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමනි.
පෞද්ගලික දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී කමිඳු මෙන්ඩිස්ට හෙට තරගය විශේෂත්වයක් ගෙන දේ. ඒ මෙෙතක් ශ්‍රී ලංකාවේ පිතිකරුවකු අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා බවට පත්වීමේ අභිමුවට ඔහු පැමිණ ඇති බැවිනි. මේ හපන්කමේ වර්තමාන හිමිකරුවා වන්නේ හිටපු ටෙස්ට පිතිකරු රෝයි ඩයස්වේ. ඔහු ඉනිම 23 කදී කරපු දස්කම හෙට ආරම්භ වන ටෙස්ට් තරගය ඇතුළත කමිඳුට සිදුකිරීමේ අවස්තාවක් නිර්මාණය වී ඇති බැවිනි. මේ දක්වා ටෙස්ට් ඉනිම 12 කට ක්‍රීඩා කර ඇති වමති පිතිකරුවා රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 822 ක් වන අතර හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගයේදී තනි ඉනිමක හෝ ඉනිම දෙකේ එකතුවෙන් ලකුණු 178 ක් රැස් කර ගැනීමට හැකි වුවහොත් එම සුවිශේෂී වාර්තාවේ හිමිකරුවා බවට පත්වනු ඇත.
ප්‍රභාත් ජයසූරියගේ කතාව එසේමය. ඔහු හෙට තරගයේදී කඩුලු 12 ක් දවා ගැනීමට සමත් වුවහොත් එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් දවා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති ජෝර්ජ් ලෝමන් සමග සමතැන් ගැනීමේ හැකියාව උදාවනු ඇත. එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති ලෝමන් 18886 වසරේ සිට 1989 කාල සීමාව දක්වා එංගලන්ත පිල නියෝජනය කරමින් තරග 16 දී කඩුලු 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ජයසූරියද හෙට සහභාගිවනු ලබන්නේ සිය ටෙස්ට් තරග දිවියේ 16 වැනි තරගයට වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිස්සංක, 3. දිනේෂ් චන්දිමාල්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. කමිදු මෙන්ඩිස්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කුසල් මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. ප්‍රභාත් ජයසූරිය, 10. නිශාන් පීරිස්, 11. අසිත ප්‍රනාන්දු
නවසීලන්ත කණ්ඩායම – 1. ඩෙවෝන් කෝන්වේ, 2. ටොම් ලේතම්, 3. කේන් විලියම්සන්, 4. රචින් රවීන්ද්‍රන්, 5. ඩැරල් මිචෙල්, 6. ටොම් බ්ලන්ඩල්, 7. ග්ලෙන් පිලිප්ස්, 9. මිචෙල් සැන්ට්නර්/මයිකල් බ්‍රේස්වෙල්, 9. ටිම් සවුති (නායක), 10. අජාස් පටෙල්, 11. විල් ඔ‘රූකි.
සැප්තැම්බර් 25, 2024
දිනූ දේ රැක ගැනීමේ අභියෝගය