සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 14.1 කට පමණක් සීමා වූ බැවින් දෙරට අතර තරගාවලියේ ප්‍රතිඵලයද සටහන් වූයේ 1-1 ක් ලෙස දෙපිළම සම තත්ත්වයේ හිඳිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා වෙනස්කම් තුනක් සහිතව අවතීර්ණ වූ අතර එහිදී පෙර තරගයට ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිණී විශ්මි ගුනරත්න, නිලක්ෂි ද සිල්වා සහ අචිනි කුලසූරිය වෙනුවට ඉමේසා දුලානි, රශ්මිකා සෙව්වන්දි සහ කෞෂානි නුත්‍යාංගනට කණ්ඩායමට එක් කොට තිබුණි. නවසීලන්ත කන්ඩායම අද තරගයේදී එක් වෙනස්කමක් සමගින් පෙර තරගයට ක්‍රීඩා කළ ජෙස් කර් වෙනුවට 26 හැවිරිදි වියේ පසුවන දකුණත් මද වේගපන්දු යවන්නියක වන රෝස්මේර් මයර් සමඟින් අවතීර්ණ විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියේය. නවසීලන්ත පිල වෙනුවෙන් ජෝර්ජියා ප්ලිමර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 37 කදී ලකුණ 46 ක්ද ඉසි ෂර්ප් පන්දු 14 කදී ලකුණු 17 ක් ද රැස් කරගෙන සිටියහ. පන්දුයැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී, චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් බිඳ හෙළා තිබුණි.
කෙසේ වෙතත් තරගාවලිය අවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිදුම් ලැබීම කැපී පෙනිණ.
නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 14.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 101 යි – (ජෝර්ජියා ප්ලිමර් 46, සුසී බේට්ස් 31, ඉසි ෂාර්ප් 17*, ඉනෝෂි ප්‍රියදර්ශනී 27/1, චමරි අතපත්තු 19/1, කවීෂා දිල්හාරි 21/1)