අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලියේ ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී කඩුලු 4කින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කළ පොලිස් ක්‍රීඩා සමාජය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. මේ තරගය ආරම්භයේ සිටම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවීම කැපී පෙනිණ.
මෙට්ලන්ඩ් පෙදෙස් සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (25) පැවැති දිවා රාත්‍රී ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 39 කදී ලකුණු 143කට දවාලු පොලිස් ක්‍රීඩා සමාජය පන්දුවාර 35.5ක දී කඩුලු හයක් දැවී ඉලක්කය සපුරා ගත්තේ තවත් පන්දුවාර 14 ක් ඉතිරිව තිබියදීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේ තරගාවලියේ දෙවන අවසාන පූර්ව තරගය ඉරිදා (27) සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙනුයේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී ම දිවා රාත්‍රී තරගයක් ලෙසිනි.
පොලීසිය සහ කෝල්ට්ස් අතර අද පැවැති ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ලකුණු 143 පොලීසිය හඹායද්දී ඉනිම ආරම්භයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක් සහ සංගීත් කුරේ කඩුල්ලක් දවා පන්දුවාර 9.1ක් වන විට ලකුණු 46කට කඩුලු තුනක් දවාලීමෙන් තරගය තියුණු මුහුණුවරකට පෙරැළිණි.
පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර තම කණ්ඩායම ජයග්‍රහණය කරන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 84කට මුහුණ දී හතරේ පහර පහක් සමග ලකුණු 55ක් රැස් කළේ නායකත්ව ඉනිමක නියැළෙමිනි.
අංක පහ පිතිකරු අෂේන් බණ්ඩාර සහ විෂාඩ් රන්දික පොලිසියේ සිව්වන කඩුල්ලට ලකුණු 49ක් (පන්දු 77ක දී) වැඩිම සබඳතාවය ලෙස රැස් කළේ කණ්ඩායම ජයග්‍රහණ ස්වරූපයකට පත් කරවමිනි. අංක හතර පිතිකරු විෂාඩ් රන්දික පන්දු 46ක දී හයේ පහර දෙකක් සමග ලකුණු 36ක් රැස් කරමින් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.
කාසියේ වාසිය හිමි කර ගත් පොලිස් ක්‍රීඩා සමාජය තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. කෝල්ට්ස් ඉනිමේ තෙවන පන්දු වාරය නිම වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා රවිඳු රසන්ත (05) සහ සංගීත් කුරේ (02) මුළු ලකුණු අටක් වන විට දැවී යාමෙන් ඉනිම ආරම්භයේ දී කෝල්ට්ස් කණ්ඩායමට මුහුණ පෑමට සිදු වුයේ අසීරුම තත්ත්වයකටය.
කෝල්ට්ස් තෙවන කඩුල්ලට අංක තුන පිතිකරු දිනේෂ් චන්දිමාල් (30) අංක හතර පිතිකරු සහ ධනංජය ලක්ෂාන් (33) (පන්දුවාර 5.4) සබඳතාවක් ද සිව්වන කඩුල්ලට ධනංජය ලක්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් (29) ලකුණු 37ක (පන්දුවාර 8යි) සබඳතාවයක් ද තබා ගත්තත් මෙවැනි තරගයකට එය ප්‍රමාණවත් නොවන අයුරක් දිස්විණි.
වමතින් දඟපන්දු යවන 24 හැවිරිදි දිලුම් සුධීරගේත් (36/4) දකුණතින් මඳ වේග පන්දු යවන 21 හැවිරිදි ධනුජ ඉඳුවර (24/3) සහ කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා චාරුක ප්‍රමෝද් (13/2) පන්දු යැවීමේ දී දැක් වු විශිෂ්ට දක්ෂතා මත කෝල්ට්ස් සෙසු පිතිකරුවන් කිසිවකුට ලකුණු 15ක් ඉක්මවීමට අවස්ථාව නොලැබිණ.
ධනංජය ලක්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් ප්‍රහාරාත්මක පිතිහරඹයන්හි නියැලුණත් ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් උත්සාහ ගත්තේ ඉවසීමෙන් කඩුල්ලේ රැඳී ඉනිම ගොඩ නැඟීමටය.
ධනංජය ලක්ෂාන් පන්දු 37කට මුහුණ දී හතරේ පහර තුනක් හයේ පහරක් සමග ලකුණු 33ක් ද දිනේෂ් චන්දිමාල් පන්දු 26ක දී හතරේ පහර පහක් සමග ලකුණු 30ක් ද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 67ක දී ලකුණු 29ක් ද රැස් කළේ කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමිනි. මැතිව්ස්ගේ ඉනිමට එකම හතරේ පහරක් හෝ හයේ පහරක් අයත් නොවීය.
ලකුණු පුවරුව
කෝල්ට්ස් පන්දුවාර 39දී සියල්ල දැවී 143 – (ධනංජය ලක්ෂාන් 33, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 29, මුදිත ලක්ෂාන් 15, අකිල ධනංජය 12, කවිෂ්ක අංජුල 11, දිලුම් සුධීර 36/4, ධනුජ ඉඳුවර 24/3, චාරුක ප්‍රමෝද් 13/2)
පොලිස් ක්‍රීඩා සමාජය පන්දුවාර 35.5ක දී කඩුලු 6කට ලකුණු 144යි – (අෂේන් බණ්ඩාර නොදැවී 55, විෂාඩ් රන්දික 36, කුසල් ජනිත් පෙරේරා 15, නදීර බාලසූරිය 10, නවීන් ප්‍රනාන්දු නොදැවී 08, දුනිත් වෙල්ලාලගේ 22/2, දිල්ෂාන් මධුශංක 41/2, සංගීත් කුරේ 11/1)





