slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2025
ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ කඩුලු 5 කින් පරදියි

sinhala editor

වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ධෛර්යවන්ත පන්දු යැවීම හමුවේ පාකිස්තානු ඉදිරි පෙළ පිතිකරුවන් පසුබැස්සද, 6 වැනි කඩුල්ල වෙනුවෙන් එකතු වුණු මොහොමඩ් නවාස් (38) සහ හුසේන් තලාත් (32*) එකතුව ලකුණු 58 ක නොබිඳුණු වේගවත් සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව් දෙනා අතර තරග වටය යටතේ ශ්‍රී ලංකාව පරදවා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 134 ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානුවෝ පන්දු 12 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියහ. ඒ සමඟම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තවදුරටත් අවසන් මහ තරග බලාපොරොත්තු තබා ගැනීමට පාකිස්තානු කණ්ඩායමට හැකියාව ලැබුණද ඉන්දියාවට එරෙහිව තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත්ව සිටියි.

මෙම ඉලක්කය හඹා යෑමේදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් කිසිවකු නොදැවී ලකුණු 45 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කළද පන්දු 8 ක් ඇතුළත ඔවුන්ගේ කඩුලු 3 ක් බිඳ වැටීම නිසා එක වරම ලකුණු පුවරුව ලකුණු 50 ට කඩුලු 3 ක් වශයෙන් කියැවිණ. අනතුරුව යළිත් ක්‍රියාත්මක වුණු වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වීම නිසා පාකිස්තානු පිලේ ලකුණු 80 ක් ඇතුළත කඩුුලු 5 ක් බිඳ වැටිණ. ජයග්‍රහණයට ලකුණු 58 ක පරතරයක් පැවැති පසුබිමක එක් වුණු තලාත් සහ නවාස් පන්දු 41 කදී එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක් අත්කර දෙමිනි.

මෙම පරාජයත් සමඟ බැලූ බැල්මට ශ්‍රී ලංකාවට අවසන් මහ තරග බලාපොරොත්තුව ගිලිහී ගොස් තිබෙන බව පෙනෙන්නට වුවත්, සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඉතිරි තරගවල ප්‍රතිඵල මත එම අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නැතුවා නොවේ. එසේ වන්නට නම් බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන්ට ක්‍රීඩා කිරීමට හිමි ඉතිරි තරග 2 වන ඉන්දියාව සහ පාකිස්තානයට එරෙහි තරග ජය ගත යුතු වන අතරම ලබන සිකුරාදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව වැඩි ශූද්ධ ලකුණු වේගයකින් යුතුව ජයගත යුතු වනු ඇත.

හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ඉනිමේදී කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 100 සීමාව ඉක්මවා යෑමේ අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත් පන්දු 44 කට මුහුණ දුන් වමත් පිතිකරුවා රැස් කරන ලද ලකුණු 50 ත් සමග නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 133 ක් ලකුණු පුවරුවේ රැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කිරීමේ ප්‍රධානම බලසම්පන්න පාකිස්තානු අවිය බවට පත්වූයේ වේග පන්දු යවන ශහීන් ෂා අෆ්රිඩිය. 19 වැනි පන්දුවාරයේදී කමිඳු මෙන්ඩිස් දවා ගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා ඉනිමේ වඩාත් වටිනාම පිතිකරුවන් යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්වද දවා ගනිමින් පාකිස්තානු පිලට සාර්ථක ආරම්භයක් ලබා දීමට අෆ්රිඩි සමත්වූවේය. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට අෆ්රිඩිගේ පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 28 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 53 ක් ලෙසින් සනිටුහන් විය. එහෙත් එතැන් පටන් 17 වැනි පන්දුවාරය ආරම්භ වන තෙක්ම යවන ලද පන්දුවාර 10 ඇතුළතදී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 44 ක් පමණි. ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් එල්ල කිරීමට සමත්ව තිබුණේ හතරේ පහර 3 ක් පමණක් වන අතර ඒ අතරතුර කාලයේදී 4 ක්ද බිඳ වැටීම කැපී පෙනිණ.

ඉදිරි පෙළින් දැවී ගිය පළමු පිතිකරුවන් පස් දෙනාම වගකීම් විරහිත පහර එල්ල කිරීමට යෑමෙන් කඩුල්ල අහිමි කර ගත්හ. එසේ නොවුණේ නම් පිතිකරුවන්ට සහයෝගයක් සහිත අබුඩාබිහි තණතීරුවේදී ශ්‍රී ලංකාවට තවත් ලකුණු රැස් කර ගැනීමේ අවස්ථාව හොඳින්ම පැවැතිණ. කඩුලු පිට කඩුලු දැවී යද්දී ශ්‍රී ලංකා පිලේ ඇතැම් පිතිකරුවන් පහර එල්ල කිරීම සැබැවින්ම ගුණාත්මක මට්ටමක නොවීය.

එහෙත් ඒ සියල්ලෙහිම වගකීම තම තනි කරට මතට දා ගත් කමිඳු කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරන ලද්දේ තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ද ඇතුළත් කර ගනිමිනි. මෙහිදී කමිල් මිශාර වෙනුවට කණ්ඩායම තුළට පැමිණ සිටි චාමික කරුණාරත්න සමග 7 වැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු පන්දු 39 කදී ලකුණු 43 ක් එක් කළහ. ප්‍රහාරාත්මක නොවුණද එම සම්බන්ධතාවයේදී චාමික ලබා දුන් සහයෝගය සතුටු දායක මට්ටමේ විිය. කෙසේ වෙතත් ඔහු ලබා ගත් ලකුණු 17 සඳහා පන්දු 21 කට මුහුණ දී තිබීම හරහා කියැවුණේ වැරෙන් පන්දුවට පහර දිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකුට මීට වඩා යුතුකමක් සිය කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ යුතු වන්නේය යන වගය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව පිළිබඳව බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා තිබුණද එය පුස්සක් බවට පත් කරමින් කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඉනිමේ දෙවැනි පන්දුවේදීය. එතැනින් පාඩමක් ඉගෙන නොගත් පැතුම් සහ කුසල් පෙරේරාද ඉක්මනින් දැවී යෑම නිසා ශ්‍රී ලංකා ආරම්භය නොසිතූ අවධානමක පැටලිණ. ඒ අතරින් චරිත් අසලංක සහ දසුන් ශානක පිට පිට පන්දු 2 කදී දැවී යෑමද ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් විය.

ඉනිම මැදින් පන්දු යැවූ අබ්ර්රා අහමඩ් දවා ගත්තේ වනිඳු හසරංගගේ කඩුල්ල වුවත් ඔහු යවන ලද පන්දුවාර 4 ලකුණු 08 කට සීමා කිරීමට සමත්වූවේය. මෙහිදී වනිදු දවා ගැනීමෙහිලා ඔහු සිය සතුට සමරන ලද්දේ කඩුල්ලක් දවා ගැනීමේදී කමිඳු සතුට සමරන ආකාරයෙනි. මෙය ඇතැම් විට ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා වෙත සිදුකරන ලද කෝචොක් කිරීමක්ද යන්න විස්තර විචාරකයින්ගේ කතා බහට ලක්විය.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම දෙවතාවක් නොසිත නොපැකිළිවම පන්දු යැවීම තෝරා ගත්තේය. මෙහිදී චාමිකට අමතරව අද තරගයේදී මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා පිලට කැඳවා තිබුණේ දුනිත් වෙල්ලාලගේ වෙනුවටය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 133 යි – (කමිඳු මෙන්ඩිස් 50, චරිත් අසලංක 20, කුසල් පෙරේරා 15, වනිදු හසරංග 15, චාමික කරුණාරත්න 17*, ශහීන් ෂා අෆ්රිඩි 28/3, හැරිස් රාවුෆ් 37/2, හුසේන් තලාත් 18/2, අබ්රාර් අහමඩ් 08/1)

පාකිසතානය පන්දුවාර 18 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 138 යි – (මොහොමඩ් නවාස් 38*, හුසේන් තලාත් 32*, සහිබස්ඩා ෆර්හාන් 24, ෆකර් සමාන් 17, මොහොමඩ් හැරිස් 13, වනිඳු හසරංග 27/2, මහීෂ් තීක්ෂණ 24/2, දුෂ්මන්ත චමීර 31/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar