පාකිස්තානු තරගාවලිය අතරතුරදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 පිලේ නායක චරිත් අසලංකව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා විනා ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී නායකත්වයේ වෙනසක් සිදු කිරීමට විශේෂ බලාපාරොත්තුවක් නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා සඳහන් කර සිටියේය.
අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපතිවරයා ඉහත කරුණ සනාථ කර සිටිද්දී ඊට සහභාගිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ඉල්ලා සිටියේ ඉදිරි විස්සයි-20 ලෝක කුසලානය දිනා ගැනීමට තමන් ඇතුළු කණ්ඩායමට උදව් කරන ලෙසයි.
එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ කවුරුන්ද යන්න මේ වන තෙක් පැවැති විවාදාත්මක තත්ත්වයට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා මෙසේද සඳහන් කර සිටියේය.
“තාම චරිත් තමයි කැප්ටන් විදියට ඉන්නේ. චරිත්ට අසනීප හින්දා තමයි දසුන්ව අපි වැඩ බලන නායකයා විදියට පත් කළේ. මං හිතන්නේ අපේ සැලසුම් වල ඉන්නේ චරිත්. ඒක වෙනස් කරන්න කියලා අපි තීරණය කරලා නෑ. මොකද අපි වර්ඩ්ල් කප් එක් ප්ලෑන් කරන් ආවේ දිගටම චරිත්ව කැප්ටන් කරන්න. ඒක හින්දා බලමු ඉස්සරහට. තවම අපි තීරණයක් අරගෙන නෑ චරිත්ව මාරු කරන්න කියලා“ යනුවෙනි.
හිටපු නායක දසුන් ශානක පාකිස්තානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ උප නායකයා ලෙස පත් කිරීමත්, අසනීප තත්ත්වය හේතුවෙන් චරිත් අසලංක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ උක්ත විවාදාත්මක තත්ත්වයට හේතු විය. පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරග දෙකේදීම නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කළද අසනීප හේතුවෙන් තෙවැනි එක්දින තරගය කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවන ලදී. අනතුරුව පාකිස්තානයේ ක්‍රියාත්මක තුන්කොන් විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම දසුන් ශානක විසින් සිදු කිරීම මෙකී තත්ත්වය තීව්‍ර වන්නට විය.
“චරිත් අසලංක කණ්ඩායමෙන් ඉවත් වෙලා ලංකාවට පැමිණීම ඔහුගේ උණ රෝගී තත්ත්වය මත ගත් පියවරක්. ඒ වගේම ඔහුගේ අවසන් තරග 1- වගේ ගත්තොත් දක්ෂතාවල පොඩි අඩුවක් තියෙනවා. ඒ තත්ත්වය දිගින් දිගටම පැවැතුණොත් කියලා තමයි අපි දසුන්ව උප නායකයා විදියට පත් කළේ“ යනුවෙන් සඳහන් කළ තේරීම් කමිටු සභාපතිවරයා එහිදී වැඩිදුරටත් “නායකත්වය සදහා අපිට ගොඩක් විකල්ප නෑ. අලුත් ක්‍රීඩකයෙක්ව ඒ තැනට ගෙන ඒම වෙනුවට ලෝකෙ වටේම ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් විදියට තමයි දසුන්ව උප නායකත්වයට පත් කළේ“ සඳහන් කර සිටියේය.
මේ අතර වනිඳු හසරංගගේ ආදේශකයා ලෙස පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත සංචිතයේ සිටියදී, හදිසියේම විජයකාන්ත් වියස්කාන්ත්ව නැගීඑන ආසියානු කුසලාන තරගාවලියේ සිට ජාතික කණ්ඩායමට කැඳවීම පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
“වියස්කාන්ත්ව අපි ටීම් එක ඇඩ් කළා. දුෂාන් හොදට කළා සිම්බාබ්වේදී. මං හිතන්නේ දුෂානුයි වියසුයි ලෙග්ස් පින් වුණාට දෙවිදියකට දාන දෙන්නෙක්. ඒක හින්දා තමයි කණ්ඩායමේ මැනේජ්මන්ට් එකත් කතා කරලා ඩිසයිඩ් කළේ. බෝලර්ස්ලා 4 ගහන නිසා වියස් පොඩ්ඩක් බෝලේ හයියෙන් දාලා තමයි කපන්න හදන්නේ. දුෂානුයි වනිඳුයි දෙන්නම එකම වගේ බෝල් කරන්නේ. එක වගේ දෙන්නෙක් ගහන්නේ නැතුව ලෙග්ස් පිනර්ස්ලා වෙනසක් කරන්න තමයි දුෂාන් නැතුව වියස්ව පික් කළේ“
“වෛද්‍ය වාර්තාවට අනුව මුලින්ම ආපු රිපෝර්ට් එකේ තිබුණේ වනිඳුට පළමු තරග දෙක ෂුවර් නෑ කියලා. හිතුවට වැඩිය ඉක්මනින් වනිඳු ක්ලියර් වුණා සෙල්ලම් කරන්න පුලුවන් කියලා. මං හිතන්නේ ඒකත් එක හේතුවකට බලපෑවා“ යැයි තරංග සඳහන් කර සිටියේය.
මේ පිළිබඳව ප්‍රධාන පුහුණුකරුද අදහස් දක්වා සිටියේ මෙලෙසිනි. “අපි වියස්ව ගෙනාවෙත් වනිදුට ඉන්ජරි එක වෙච්ච එකත් බලපෑවා. අපි දුෂාන්ව පැත්තකට තියලා නෑ. දුෂාන්ව බලනවා වනිදු සෙල්ලම් කරන්නේ නැත්නම් දුෂාන් එක්ක යන්නත්. තව අපි පවර් ප්ලේ ඔප්ෂන් වලට තමයි වියස්ව ගෙන්න ගත්තේ. ඒක තමයි වියස්ව ගේන්න හේතු වුණේ“ යනුවෙනි.
පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරග 3 සහ පළමු විස්සයි-20 තරග 2 ම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ නමුදු සිම්බාබ්වේට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළි ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූවේය. ඒ අනුව පෙර තරග වලදී ශ්‍රී ලංකා පිලට සිදුවූයේ කුමක්ද යන්න ද මෙහිදී මාධ්‍යෙව්දීහු ප්‍රශ්න කළ සිටියහ.
“ඇත්තටම කළින් තරග වලදී අපේ පළමු පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට සිටියේ නෑ. ලොකුම ප්‍රශ්නය තිබුණේ එතනයි. අපි ඒ ගැන ගොඩක් සාකච්ඡා කළා. ඒත් අවාසනාවකට වගේ හොද අරම්භයක් ලබා ගන්නා පිතිකරුවා ඉක්මනින්ම දැවී ගියා. එතැන තමයි මේකට මූලිකම ප්‍රශ්නය වුණේ“ යැයි ජයසූරිය මහතා සඳහන් කර සිටියේය.
මේ තත්ත්වය නිරාකරණය කර ගැනීම පිළිබඳව ජයසූරිය මහතා දරනු ලබන්නේ මෙවැනි ආකල්පයකි.
“අපි බලන්න ඕන හරි කම්බිනේෂන් එක හදාගන්න ඕන. කමිල් මිශාර ස්ටාර්ට් එක අරගෙන හොදට කරනවා. ඒ චේන්ජ් එක කරලා බැලුවා. මං හිතන්නේ දැනට එක වැදගත් වෙනවා. ඒ දකුණත් වමත් සම්බන්ධතාවය නිසා තමයි. අංක 3 ස්ථානයෙන් කුසල් මෙන්ඩිස් ඉන්නවා. ඔහු දකුණත් පිතිකරුවෙක්. ඊට පස්සේ කුසල් පෙරේරා. ඔහු වමත් පිතිකරුවෙක්. ඔහුට පුලුවන් දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොදට ක්‍රීඩා කරන්න. මේ ඉදිරි පෙළ පිතිකරුවන් සිවුදෙනා අපිට ගොඩක් වැදගත්. ඉතිං සාර්ථක වෙන්න නම් මේ සිවුදෙනාගෙන් කෙනෙක් ලොකු ඉනිමකට යන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව“ යැයිද ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙහිදී අවසන් වශයෙන් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු ජයසූරිය මහතා, “ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමේ ළමයින්ට මානසිකව දෙන්න තියෙන උදව්ව තමයි ඔවුන්ව දිරිමත් කරන එක. මං හිතන්නේ මුලු ලංකාවම එකතු වෙලා මේ ක්‍රීඩකයින් 20 ක් හරි 25 ක් හරි ඉන්නවානම් ඒ හැම ක්‍රීඩකයකුටම අපි උදව් කරන්න ඕන. මානසිකව ඒ කට්ටිය උඩට ගේන්න බලන්න ඕන. මං හිතනවා අපිට හොද අවස්ථාවක් තියෙනවා ලංකාවේ තියෙන මේ ලෝක කුසලානයේදී ඊළඟ රවුමට යන්න. ඒකට අපිට ලොකු වැඩසටහනක් කරන්න තියෙනවා. ලේසියෙන් බෑ, ඒකට මහන්සි වෙලා පුහුණුකරු හැටියට මටත් ලොකු වගකීමක් තියෙනවා රට වෙනුවෙන් කරන්න. මං ඒ දේ කරන්න කැප වෙලා ඉන්නවා“.
“ඒ වගේම අපේ ප්‍රේක්ෂකයොන්ගේ සහාය මට හැමදාම තිබුණා. මං හිතනවා ඉදිරියේදී අපේ රටේ කණ්ඩායම වෙනුවෙන් ඒ සහයෝගය මට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා“ යනුවෙන් ජයසූරිය මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.





