slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2025
වසර 6 ක් ඇතුළත දැවැන්ත සංවර්ධනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සිදු කළා –  භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සෘජු නායකත්වය යටතේ 2019 සිට මේ දක්වා වසර 6ක් වැනි කෙටි කාලයක් තුලදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල යටිතල පහසුකම්වල සංවර්ධනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවැති ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීරණයේදී විවෘත කිරී‍මෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදී පැමිණ සිටි මැති ඇමැතිවරුන් පිළිගනිමිණි. ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා අතින් විවෘත වූ මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සව සභාවට නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති සුගත් තිලකරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

“ගරු ඇමැතිතුමනි, අපගේ මෙම ක්‍රිකට් සංවර්ධන වැඩ සටහන ආරම්භ කළේ 2019 වසරේදී. අපව විශාල තැනකට තල්ලු කරන සෘජු නායකත්වයක් දෙන ශම්මි සිල්වා මහතා සභාපති වෙද්දී අප සතුව ක්‍රිකට් යටිතල පහසුකම් ගොඩක් තිබු‍ණේ නෑ. සීමිත ප්‍රමාණයක් තිබුණේ. ඒ නිසා විධායක සභාව එතුමාගේ නායකත්වයෙන් වසර 6ක් තුලදී විශාල සංවර්ධන සැලසුමක් සකස් කළා. වසර 76ක ඉතිහාසයක් ති‍යෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත සංවර්ධනයක් සිඳු වුණා. අපගේ අය – වැය යෝජනා මඟින් ඉතා සක්‍රීය යෝජනා ක්‍රියාත්මක කළා. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සිට පාසල් ක්‍රීඩා පිටිය දක්වා සංවර්ධනය කළා. 2019දී අපේ සැලසුම අනුව ජාත්‍යන්තර ක්‍රීඩා පිටි 8ක් සංවර්ධනය ආරම්භ කළා. දඹුල්ල, පල්ලේකැලේ, ආර්. ප්‍රේමදාස පිටිය, ගාල්ල, සුරිය වැව, එස්එස්සී ක්‍රීඩාංගණය වැඩිදියුණු කරා. අවුරුදු දෙකක් ඇතුළත ක්‍රීඩා පිටි 3කට විදුලි ආලෝකය ලබා දෙන්න පුළුවන් වුනේ මේ කාලය තුළ. මේක විශාල ආයෝජනයක්.  ලෝකයේ දෙවෙනි විදුලි ආලෝකය තිබූ ක්‍රීඩාංගණය වූ ප්‍රේමදාස පිටිය වසර 38කට පස්සේ විදුලි කුළුණු ගලවලා අළුත් එල්.ඊ.ඩී. විදුලි ආලෝක පද්ධතියක් දුන්නා. දඹුල්ලෙත් ඒ ක්‍රියාවලීම කළා. දැන් අපේ ලංකාවේ පැරණිම එස්එස්සී පිටියටත් විදුලි ආලෝකය ලබා ‍දෙනවා. ඒ පැරණි ලයිට් එකතු කරලා සීසීසී පිටිය පුහුණුව පිණිස විදුලි ආලෝකයෙන් ශක්තිමත් කළා“.

“අපේ කලාපයේ සහ මැද පෙරදිග රටවල් එකතු වෙලා ඩුබායි රාජ්‍යයට ජාත්‍යන්තර තරඟ සියල්ලම ගෙන යෑම අභියෝගයක් වුණා. දැන් ඒ සියල්ල ශ්‍රී ලංකාවේ පවත්වන්න පුළුවන්. ඕනෑම මට්ටමේ ජාත්‍යන්තර ලෝක ශූරතාවයක් තියන්න දැන් අපට පුළුවන්. අපිට පුළුවන් වුණා ජාත්‍යන්තර රාශියක් ගෙන එන්න“ යැයි ක්‍රිිකට් භාණ්ඩාගාරිකවරයා අදහස් දක්වා සිටියේය.

“කාන්තාවන් සඳහා ජාතික පුහුණු මධ්‍යස්ථානයක් සරා පිටියේ බිහිකරලා තියෙනවා. රට පුරා උසස් ජාතික පුහුණු මධ්‍යස්ථාන 13ක් සාදා දීමට කටයුතු කරනවා. ඒ වගේම දියගම හා යාපනයේ තවත් අලළුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් ඉදිවෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කවල ඉන්න ක්‍රීඩකයන්ට සියලුම පහසුකම් ලබා දෙන්න කටයුතු යොදා තියෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයන් රැක බලා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් දියත් කරලා තියෙනවා. ඒත් එක්කම අපේ ප්‍රධාන ක්‍රීඩා සමාජ දාහතරක් සඳහා යටිතල පහසුකම් සහ අනෙකුත් සියලුම පහසුකම් ලබා දී තියෙනවා. මෙම පුහුණු මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාවේ විශේෂඥයින් පිරිසකගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ පිරිසක් ඉතා සාර්ථකව නිමා කළා. විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් තුලින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව මෙයින් දියුණු කල හැකියි“ යනුවෙන් සඳහන් කර සිටි ගොඩලියැද්ද මහතා, “2022දී මිලියන 624ක් වූ මුදල අපි 2026දී බිලියන 1.6ක් දක්වා වැඩි ‍කොට තිබෙනවා. මේ මුදල අයිසීසියෙන් ලැබෙන මුදලින් සියයට 20ක ප්‍රමාණයක්. 2026 දී අයවැයෙන් අවශ්‍ය පරිදි සෑම අංශයකටම මුදල් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ගරු සභාපතිතුමා පාසල් කාලයේ ක්‍රීඩකයෙක් වෙලා ඊට පස්සේ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙක් වෙලා. සාමාජිකයෙක් වෙලා, කණ්ඩායමේ කළමනාකරුවෙක්, පුහුණුකරුවෙක්, ක්‍රීඩා සමාජ ලේකම්වරයෙක් වෙලා පියව‍ෙන් පියවර ඉදිරියට පැමිණි සභාපතිවරයෙක්. ඒ නිසයි ක්‍රිකට් පරිපාලනයට මෙවැනි මෙවැනි පරිනත වූ නායකත්වයක් දෙන්නේ. මෙතෙක් පැවැති ක්‍රීඩා ඇමැතිවරුන් ඉදිරිපත් කළ ක්‍රීඩා නීති සමඟ අපි විශාල ගමනක් ගිය නිසා අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා නීති රීති හදද්දී පළපුරුදු බව හා දක්ෂතාව තියන අයට වැඩි අවස්ථාවක් ‍දෙයි කියා“ ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවැසීය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳ කටයුතු කරන උප සභාපති රවීන් වික්‍රමරත්න,  ලේකම්ම් බන්ධුල දිසානායක, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ජාතික ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයේ සිදුකෙරෙන පූර්ණ කාර්යය භාරය පිළිබඳව නිර්මාණය කරන ලද පොත් පිංචක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත පිළිගැන්වීමද මෙදිනදී සිදුකෙරිණ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee