ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) ආරම්භ වු මේ සති අන්තයේ තරග කිහිපයේ දී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ අතර පන්දු යවන්නන් තිදෙනෙකු ද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් විය.
මීට අමතරව පන්දු යවන්නන් හතර දෙනෙකුම කඩුලු හතර බැගින් දවාලීය. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ රනුද සෝමරත්න මොරටුව ක්‍රීඩා සමාජය සමග පන්දු 217ක දී හතරේ පහර 12ක් හයේ පහර තුනක් සමග ලකුණු137ක් ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ හර්ෂජිත් රුෂාන් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සමග පන්දු 258ක දී හතරේ පහර 17ක් සමග ලකුණු 135ක් රැස් කරමින් ද රාගම ක්‍රිකට් සමාජයේ මනීෂ රූපසිංහ පන්දු 105ක දී හතරේ පහර 18ක් හයේ පහර දෙකක් සමග ලකුණු 113ක් රැස් කරමින් ද මෙදින ශතක වාර්තා පොතට එක් විණි.
මෙදින පන්දු යවන්නන් අතුරින් හොඳම පන්දු යැවීම දක්නට ලැබුණේ මීගමුව ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ දිලංක අවුවාඩ් ලකුණු 113කට කඩුලු 8ක් දවාලීමය.
තවත් පන්දු යවන්නන් දෙදෙනෙකු ද මෙදින පන්දු යැවීමේ දී උපරිම දක්ෂතා දැක්විය. ලියෝ ක්‍රිකට් සමාජයේ ගිත්මින් කොළඹගේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සමග ලකුණු 57කට කඩුලු හයක් දවාලමින් සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ හෂාන් සංදීප ලකුණු 89කට කඩුලු පහක් දවාලමින් මේ දක්ෂතා දැක්විය.
මීට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ කවිඳු එදිරිවීර ලකුණු 73කට කඩුලු හතරක් ද එම කණ්ඩායමේ ම තරූෂ් දමිඳු ලකුණු 84කට කඩුලු 4ක් ද මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 97කට කඩුලු හතරක් ද කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ මිතුන් ජයවික්‍රම ලියෝ ක්‍රිකට් සමාජය සමග ලකුණු 36කට කඩුලු හතරක් ද දවාලමින් පන්දු යැවීමේ දී කැපී පෙනුණි.
මීගමුව ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 262න් ලකුණු 184ක් ම රැස් කළේ ලකුණු 94ක් රැස් කළ කෙෂාන් වන්නිආරච්චි සහ ලකුණු 90ක් රැස් කළ ඇන්ජලෝ ජයසිංහය.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ රනුද සෝමරත්න ලකුණු 117ක් ද නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 84ක් පුද්ගලිකව රැස් කරමින් එස්.එස්.සී. සිව්වන කඩුල්ලට ලකුණු 160ක සබඳතාවයක් ද පැවැත්විය.
ලකුණු සාරංශය
- එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය – මොරටුව ද සොයිසා පිටියේ දී
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 88ක දී කඩුලු 9ක් දැවී ලකුණු 354 – රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, ෂෙවෝන් ඩැනියල් 45, නිපුන් ධනංජය 29, නදීෂ ආකාෂ් 16, චානක රුවන්සිරි 97/4, දුමිඳු සෙව්මිණ 70/2, ගයාන් සිරිසෝම 93/2
- කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා පිටියේ දී
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 36.4ක දී සියල්ල දැවී ලකුණු 172 – මලිඳු මධුරංග 60, නඳුන් අසේල සිල්වා නොදැවී 39, අශාන් රන්දික 17, ගිත්මින් කොළඹගේ 57/6, ෂෙනාෂ් ප්‍රනාන්දු 31/3
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියල්ල දැවී ලකුණු 243 – හිරුන් සිගේරා 74, ෂෙනාෂ් ප්‍රනාන්දු 30, නෙත්ම කරුණාරත්න 30, පූර්ණ කල්හාර 27, රොමේෂ් සුරංග 18, මල්ෂාන් ගුණසිංහ 16, මිතුන් ජයවික්‍රම 86/4, නිර්මල රත්නායක 39/2, ක්‍රිෂේන් වික්‍රමසිංහ 47/2
- යුද හමුදා ක්‍රීඩා සමාජය – සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – පනාගොඩ යුද හමුදා පිටියේ දී
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84.4ක දී සියල්ල දැවී ලකුණු 336 – හර්ෂජිත් රුෂාන් 135, සීක්කුගේ ප්‍රසන්න 31, රවිඳු විජේවර්ධන නොදැවී 27, තරිඳු දිලංක 25, අසේල ගුණරත්න 24, ජනිත් ද සිල්වා 24, රත්නරාජා තෙනුරතන් 22, හෂාන් සංදීප 89/5, නිපුන් මෙන්ඩිස් 86/3
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 3ක දී කිසිවෙකු නොදැවී ලකුණු 08 –
ගාල්ල ක්‍රිකට් සමාජය – යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – මග්ගොන සරේ පිටියේ දී
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 67.1ක දී සියල්ල දැවී ලකුණු 242 – අමිත් එරන්ද 51, ලිසුල ලක්ෂාන් 44, කෙවින් කොත්තිගොඩ 41, රමේෂ් නිමන්ත 36, සුභානු රාජපක්ෂ 26, කවිඳු එදිරිවීර 73/4, තරූෂ් දමිඳු 84/4, දනෝෂ් ද සිල්වා 67/2
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 13ක දී කිසිවෙකු නොදැවී ලකුණු 52 – අදීෂ නානායක්කාර නොදැවී 31, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 20
- රාගම ක්‍රිකට් සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. පිටියේ දී
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 62ක දී සියල්ල දැවී ලකුණු 291 – මනීෂ රූපසිංහ 113, කෙමිර විජේනායක නොදැවී 52, රවිඳු සෙම්බුකුට්ටි 40, උපුල් ඉන්ද්‍රසිරි 35, සහිල් ඩයස් 28, නිමන් උමේෂ් 27/2, යේසිත් රූපසිංහ 33/2, වෝෂිත අමරසිංහ 58/2, උෂාන් මනෝහර 59/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 20ක දී කඩුලු 5ක් දැවී ලකුණු 59 – පුලස්ති අතපත්තු නොදැවී 26, ටෙරන් බාස්කරන් 14, දසිත් ගුණතිලක 18/2, කොසාන් ජයවික්‍රම 18/2
- මීගමුව ක්‍රිකට් සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය – වැලිසර නාවික හමුදා පිටියේ දී
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 77.1ක දී සියල්ල දැවී ලකුණු 262 – කෙෂාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, දිමුත් සඳරුවන් 17, දිලංක අවුවාඩ් 113/8
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 10ක දී කඩුලු 3ක් දැවී ලකුණු 33 – ශෙහාන් ප්‍රමෝද් 12/2





