slc
logo
Home   |    News
ජූනි 6, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මුණ ගැසෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක් 2026 ජුනි 02 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බුද්ධි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ක්‍රීඩිකාවන් මුහුණ දෙන අවශ්‍යතා පිළිබඳව සෘජුව අදහස් හුවමාරු කර ගැනීමයි. එහිදී ක්‍රීඩිකාවන් විසින් තම අදහස්, යෝජනා සහ අපේක්ෂාවන් පරිවර්තන කමිටුව වෙත ඉදිරිපත් කළ අතර, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ සංවර්ධනය සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ක්‍රීඩිකාවන්ගේ පැත්තෙන් කමිටුව වෙත ලබාදීමට සහතික විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලබාදෙන පහසුකම් සහ වරප්‍රසාදයන් හා සමානවම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ද ලබාදීම සඳහා තම පාලනය කාලය තුළ උපරිම උත්සාහයක් දරන බවයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වය ඉහළ නැංවීම, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධානතම අරමුණ බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා සමඟ කමිටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා, ක්‍රිකට් කමිටු ප්‍රධානී සිදත් වෙත්තමුණි සහ කමිටු සාමාජිකයින් වන රොෂාන් මහානාම හා කුමාර් සංගක්කාර යන මහත්වරුද සහභාගිවූහ. එමෙන්ම ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ සහ තුෂිර රද්දැල්ල යන මහත්වරුන් සහ අවන්ති කොළඹගේ මහත්මිය  ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩ්ඩන්ස් මහතා ද කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇතුළු ජාතික කණ්ඩායම, කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම්වල ක්‍රීඩිකාවන් ද මෙම සාකච්ඡාවට එක්වූහ.

වැඩසටහන අතරතුර පරිවර්තන කමිටුවේ අරමුණු සහ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව ඉරාන් වික්‍රමරත්න මහතා අදහස් දැක්වූවේය. ක්‍රීඩිකාවන් අමතමින් එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය පසුගිය කාලය තුළ අත්කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය අගය කළේය. විශේෂයෙන්ම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියූ ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කළේය.

කාන්තා ක්‍රීඩිකාවන්ගේ කැපවීම සහ උත්සාහය ප්‍රශංසාවට ලක් කළ වික්‍රමරත්න මහතා, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන අවධානය, අවස්ථා සහ සහාය සමාන මට්ටමින් ලබාදීමට කමිටුව කටයුතු කරන බවද අවධාරණය කළේය. එසේම 2026 ICC කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඔහු සිය සුබපැතුම් ද එක් කළේය.

 ක්‍රීඩාවේ විනය, වෘත්තීයභාවය සහ ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ වගකීම පිළිබඳව සිදත් වෙත්තමුණි මහතා සහ රොෂාන් මහානාම මහතා ක්‍රීඩිකාවන් දැනුවත් කළහ.

ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වන විට ක්‍රීඩිකාවන් සතු විය යුතු මානසික ශක්තිය, ධනාත්මක ආකල්ප සහ ශක්තිමත් කණ්ඩායම් සංස්කෘතිය පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මහතා සිය ක්‍රිකට් දිවියේ අත්දැකීම් බෙදා ගනිමින් ක්‍රීඩිකාවන්ගේ ආත්ම විශ්වාසය සහ මානසික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා වටිනා උපදෙස් ලබා දුන්නේය. සිය දේශනයේදී සංගක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා ඇති ජයග්‍රහණ සහ ප්‍රගතිය හේතුවෙන් ඔවුන් පිළිබඳව සමස්ත රටම ආඩම්බර විය යුතු බවයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar