ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග තුනක් ඇතුළත් මෙම තරගාවලිය දින 16ක කාලයක් පුරා පැවැත්වෙන අතර, සියලුම තරග හම්බන්තොට පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
මෙම සංචාරය සඳහා පාකිස්තාන කාන්තා කණ්ඩායම ජූලි 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, අගෝස්තු 04 වැනිදා තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතය. දෙරට අතර ක්‍රීඩා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම තරගාවලිය දෙරටටම විශේෂ වැදගත්කමක් හිමිවන්නේ එය 2029 කාන්තා එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වන බැවිනි. 2025-2029 කාලසීමාව ආවරණය වන වර්තමාන කාන්තා ශූරතාවලිය 2025–2029 තරගාවලියේ කොටසක් ලෙස මෙම එක්දින තරග තුන පැවැත්වෙන අතර, එහිදී හිමිවන ප්‍රසාද ලකුණු 2029 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ සටනේදී තීරණාත්මක සාධකයක් වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙම තරගාවලිය හුදෙක් ද්විපාර්ශ්වික තරගාවලියක් පමණක් නොව, අනාගත ලෝක කුසලාන අපේක්ෂාවන්ට බලපාන වැදගත් තරගාවලියක් ලෙසද සැලකේ.
තරග කාලසටහන
ජූලි 23 – පළමු එක්දින තරගය – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
ජූලි 25 – දෙවැනි එක්දින තරගය – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
ජූලි 28 – තෙවැනි එක්දින තරගය – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
ජූලි 31 – පළමු විස්සයි-20 තරගය – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
අගෝස්තු 02 – දෙවැනි විස්සයි-20 තරගය – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
අගෝස්තු 04 – තෙවැනි විස්සයි-20 තරගය – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය






