ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු සිල්වර්වුඩ් මහතා එලෙස පැවැසීය. ඇෆ්ගනිස්තානය සමග පැවැති පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 6ක ජයක් වාර්තා කළ බැවින් දැනට තරග 1-1ක් ලෙස තරගාවලිය සම තත්ත්වයකට පත්ව තිබේ.
“ අපේ එක්දින ගමන් මග පිළිබඳ මම ඉතා සතුටු වෙනවා. ශ්‍රී ලංකා පිලේ කාර්ය සාධනය මේ අයුරින්ම ඉදිරියට රැගෙන යාමට හැකි නම්, ලොව පුරා ඉතා ස්ථාවර කණ්ඩායමක් බවට ඔවුන් පත්වෙනවා. ප්‍රධානම දේ වන්නේ ක්‍රීඩකයින්ගේ ස්ථාවර වීමයි. අපේ ක්‍රීඩකයින් දැන් එම හැකියාව ඇති බව දන්නවා. ඔවුන් පෙන්වා තිබෙනවා“ පුහුණුකරු පැවැසීය.
“බොහෝ ක්‍රීඩකයින්ගේ ශක්තිය මම දැක්කා. අපි හොඳින් පන්දුවට පහරදී කඩුලු අතර, සබඳතා ගොඩනඟා ගත්තා. අපි අද පිටියේ විශිෂ්ටයි. බොහෝ දෙනෙක් එකිනෙකාට සහයෝගය දෙමින් ක්‍රීඩා කළා. අපි ඇෆ්ගනිස්තානයට අවශ්‍ය ලකුණු වේගයට වඩා අඩුවෙන් තබාගෙන පීඩනය ගොඩ නැගුවා. ඒ වගේම මැද ඕවරවලදී අපි කඩුලු දවා ගත්තා, එය එක්දින තරග ජයග්‍රහණයට අවශ්‍ය දෙයක්“ සිල්වර්වුඩ් මහතා සදහන් කළේය.
“පළමු තරගයේදී ධනංජය ද සිල්වා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. අද අපි දැක්කා ඔහු ඉතා හොදින් දෙවැනි තරගයේදීත් දක්ෂතා දක්වනවා. ඔහු ක්‍රීඩා පිටියට යද්දී හොද තත්ත්වයක ලකුණු පුවරුව තිබුණා. ඔහු එම වේගය තියාගෙන ඉක්මනින් ලකුණු රැස් කළා. ඒක තමයි අපිට ලකුණු 300ට උඩින් එන්න හැකි වුණේ. ධනංජයගේ පන්දු යැවීම ගැන කියනව නම්, කාලයක් තිස්සෙ පිතිකරුවන්ට තර්ජනාත්මක පන්දු යවන්නෙක්. ඔහු ඉතා දක්ෂ එක්දින පන්දු යවන්නෙක්. ඇෆ්ගනිස්තානය පසුගිය අවුරුද්දේ මහනුවරදී තරග වැදුණ විටත් ඔහු ඉතා හොදින් පන්දු යැව්වා. අද එයා ලස්සනට පන්දු යවලා ප්‍රතිඵල ගත්තා” සිල්වර්වුඩ් මහතා පැවැසීය.
දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක අතර පළමු කඩුල්ලට ලකුණු 82ක සබඳතාවයක් ගොඩනැගී ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වූ අතර, පසුව සමරවික්‍රම සහ මෙන්ඩිස් එක්ව පන්දු 86කදී ලකුණු 88ක සබඳතාවක් ගොඩනැගූහ.
“දිමුත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඔහු අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදීත් හොඳින් ක්‍රීඩා කළා. ඔහුගේ වේගය ගොඩක් හොඳයි. දිමුත් සහ පැතුම් අතර, ගොඩනඟාගත් සම්බන්ධතාව අනෙක් ක්‍රීඩකයින්ට පහසුවක් ඇති කළා. ලකුණු එකතු වෙද්දී කඩුලු අතේ තිබෙනවානම් අපට කළ හැකි දෙය විශාලයි. ඒක එක්දින තරගයක් ජය ගන්න අවශ්‍යම දෙයක්“ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු පැවැසීය.
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පෙරේදා (4දා) පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 323ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය ඕවර් 42.1කදී ලකුණු 191කට දැවී ගියහ.
ඇෆ්ගනිස්තාන පිලේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු ක්‍රීඩාගාරයට යවමින් හා වේගවත්ව පන්දුවට පහරදී නොදැවී ලකුණු 29ක් රැස්කළ ධනංජය ද සිල්වා තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත් අතර, වනිදු හසරංග කඩුලු 3ක් හා දුස්මන්ත චමීර කඩුලු 2ක් බිදහෙලූහ. දිමුත් සහ කුසල් අර්ධ ශතක ලබාගත් අතර, සධීර සමරවික්‍රම හා දසුන් ශානක ද ලකුණු රැස් කිරීමේදී අගනා දායකත්වයක් ලබා දුන්හ.