slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2023
ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නෑ – සිල්වර්වුඩ්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය. ඒ සඳහා ක්‍රීඩකයින් තුල යළි විශ්වාසය තහවුරු කිරීම සිදුවිය යුතු බවත්, ඒ වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ ක්‍රීඩකයින් සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවත් සිල්වර්වුඩ් මහතා පැවැසීය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා මේ බව සඳහන් කළේය.

“අවසන් මහා තරගය දක්වා පැමිණීමට අපිට ගොඩක් සටන් කරන්න සිද්ධ වුණා. ඒ ගමන් මඟ කල්පනා කරද්දී ඒක යම් විදිහක ජයග්‍රහණයක්. මම හිතන්නේ අපි නැවත එකතු වී ක්‍රීඩකයන් තුළ යම් විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි. ඇතැම් විට මේ පරාජය ලෝක කුසලානයකට යන කණ්ඩායමක් හැටියට ලැබූ හොද පාඩමක්. මෙය අපේ කණ්ඩායම යම් විදිහක අවදි කිරීමේ ඇමතුමක් ලෙස සැලකිය යුතුයි. අපට ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි කණ්ඩායම් සමග තරග කිරීමට සිදු වෙනවා. ඒ වගේ දැවැන්ත තරගාවලියකදී මේ පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ක්‍රීඩා කිරීම වැදගත්. අපට භාවිතා කළ හැකි පාඩමක් මෙයින් ලැබුණා කියා සිතනවා. මේ පරාජය ලෝක කුසලානයට සාර්ථකව යාමට අපව පෙළඹවීමක් විය හැකියි“ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසිය.

කෙසේ වුවද ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම දැක්වූ ක්‍රීඩා විලාශය පිළිබඳ හෙතෙම කලකිරීම ප්‍රකාශ කළේය.

“පැහැදිලිවම එය අපේ නරක දවසක්‍. අපි ඉන්දීය පිලේ ඉතා ඉහළ පෙළේ පන්දු යැවීමේ ඒකකය ඉදිරියේ පරාජයට පත්වූ බව පිළිගත යුතුයි. මේ විදිහට තරගයක් අවසන් කිරීම ලැජ්ජාවට කරුණක්. එය අපට දරාගන්න අමාරු තරම් දරුණුයි. නමුත් විශාල තරගාවලියක් ඉදිරියේදී එනවා. සිදුවූ  දෙයින් අප ඉගෙනීමට ඇති පාඩම් පිළිබඳ සිතා බැලිය යුතුයි. කණ්ඩායමක් ලෙස අපි ඉදිරියට යා යුතුයි. ඒක ක්‍රීඩකයින් අතරේ විශ්වාසයක් ඇති කිරීමෙන් කළ හැකි බව මගේ විශ්වාසයයි” ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසීය.

ඉන්දීය පිලට තම ප්‍රශංසාව හිමි කළ සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා පිලේ පරාජය පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදු කළ යුතු බව පිළිගත්තේය. “ ඇත්තටම ඉන්දීය පිල සුපිරි පන්දු යැවීමක නිරත වූවා. ඔවුන් ඉලක්කයට පන්දු යැවුවා. අපේ පිතිකරුවන් ඒ පන්දු යැවීම ඉදිරියේ කඩා වැටුණා. කණ්ඩායමක් හැටියට පසු බැස්සා. අපි අවසන් තරගය කළ ආකාරය ගැන කලකිරීමක් තිබෙනවා. ලොකු ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩක විවේකාගාරයේදී විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා“

කෙසේ වෙතත්, වේග පන්දු යවන මතීෂ පතිරණ සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වැනි යොවුන් ක්‍රීඩකයින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ඉදිරියට පැමිණීම සැලකිය යුතු කරුණක් බව හෙතෙම සඳහන් කළේය. මතීෂ පතිරණ මෙම තරගාවලියේ තරග 6කදී කඩුලු 11ක් දුනිත් වෙල්ලාලගේ තරග 6කදී කඩුලු 10ක් බිද හෙලීමට සමත් විය. එමෙන්ම වෙල්ලාලගේ පන්දුවට පහරදීමේදී ලකුණු 86ක් ලබා ගැනීම ද කැපී පෙණුනි.

“පතිරණ සහ වෙල්ලාලගේ ඇත්තටම ජාත්‍යන්තර ක්‍රිකට් තලයේ යම් පිබිදීමක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් නැවතත් ලක්ණු අතරට ඇවිත් සිටිනවා. අපේ හොඳ පුද්ගල දක්ෂතා හා කණ්ඩායම් දක්‍ෂතා තිබෙනවා. නමුත් ක්‍රිකට් කණ්ඩායමකට දිගින් දිගටම පවත්වාගෙන යන ස්ථාවරත්වය ප්‍රධානයි. එහෙම නැති වුණොත් අපට එක වගේ ඉදිරියට යන්න අපහසුයි. ඉන්දියාව වැනි කණ්ඩායම් පරාජය කිරීම ගැන හිතන්න නම් කණ්ඩායමේ ස්ථාවරත්වය වැදගත්. ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව, පකිස්තානය සහ ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායම් වලට එරෙහිව තරග කිරීමට යන වේලාවක අපි උපරිමයෙන් සිටිය යුතුයි“ සිල්වර්වුඩ් මහතා පැවැසීය.

“අපි පිතිකරණයේ ස්ථාවරභාවය රැකගත යුතුයි. අංක 7 දක්වා හොදින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් අපට සිටිනවා. ඔවුන් අත්දැකීම් ඇති අය. එවැනි කණ්ඩායමක් හිටි හැටියේ කඩා වැටීම කණගාටුවට කරුණක්. මේ ගැන අපට කතා කළ යුතු දෙයක් තියෙනවා. ගැටලුවට මුහුණ දෙන ආකාරය පිළිබඳ ක්‍රීඩකයින් දිරිමත් කළ යුතුයි. මෙය සිදුවීමට ඉඩ දිය නොහැකියි” සිල්වර්වුඩ් මහතා පැවසීය.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee