By Chamila Karawita
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත් මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවනු ලබන දෙවැනි තරගය වන පාකිස්තානයට එරෙහි තරගය හෙට (10 දා) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ගේ මූලිකම අවධානය යොමුවී තිබෙන කරුණ බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රධානතම පන්දු යවන්නකු වන මහීෂ් තීක්ෂණ කෙරෙහිය.
මෙම තරගයට පෙර දෙපිළම තරගයකට බැගින් ක්‍රීඩා කර තිබෙන අතර එහිදී පාකිස්තානු පිල නෙදර්ලන්ත පිල පරාජය කිරීමට සමත් වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත්විය. එම පරාජයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම අතිශය දුර්වල මට්ටමක පැවැති බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කළමනාකාරීත්වය කෙසේ හෝ සිය ප්‍රධානතම දඟ පන්දු යවන්නා ක්‍රීඩා කරවීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
“මම හිතන්නේ ඔහු මෙම ක්‍රීඩාවට සිටිය යුතුයි. නිසැකවම, අපට පළමු තරගයේදී ඔහු සමඟ අවදානමක් ගැනීමට අවශ්‍ය නොවූ අතර වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට එරෙහිව යාමට අපිට අවශය වුණේ නෑ. කොහොම වුණත් හෙට තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය ලබා ගත හැකි බව මට විශ්වාසයි“ යැයි තීක්ෂණගේ සහභාගිත්වය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. මහීෂ් කණ්ඩායමට පැමිණීමේදී බොහෝ විට වේග පන්දු යවන්නකුට සිය ස්ථානය අහිමිවනු ඇති බවට අපේක්ෂා කළ හැක.
ආසියානු කුසලාන තරගාවලිය අතරතුරදී ආබාධයකට මුහුණ දීම නිසා මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම සමග ගමන් නොකළ නමුත් ඉකුත් 04 වැනිදා කණ්ඩායමට එක් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා ඉකුත් 07 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ නමුත් මහීෂ්ට එම තරගයට සහභාගිවීමේ අවස්ථාව මඟ හැරිණ. තීක්ෂණ නොමැතිව ක්‍රීඩා කරන ලද එම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසනදී ලකුණු 429 ක ඉලක්කයක් ලබා දීමට සමත්විය. ඉලක්කය දැවැන්ත වූ නමුත් එය හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි උත්සාහයක් ගැනීම කැපී පෙනිණ. නමුත්, අවසානයේ ලකුණු 102 ක පරතරයකින් තරගය පරාජයට පත්වූවේය. එබැවින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හෙට තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වනු ඇත.
මෙහිදී කුසල් මෙන්ඩිස් (76), චරිත් අසලංක (79) සහ නායක දසුන් ශානක අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 300 න් එපිටට රැගෙන ගියහ. මෙහි ඇති ධනාත්මකම කරුණ බවට පත්ව තිබෙන්නේ නායක දසුන් ශානක අලු ගසා දමා ලකුණු අතරට පැමිණීමට සමත්වීමයි. ඔහු අවසන් තරග කීපයේදීම ලකුණු අතර පැමිණීමට අපොහොසත් වූ නමුත් ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පන්දු 62 කදී ලකුණු 68 ක් වාර්තා කරමින් යළිත් ලකුණු අතරට පැමිණීමට සමත්වූවේය.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් දියත් කරන ලද පිතිහරඹයද එම තරගය නැරඹූ පිරිසට නම් කලකට අමතක නොවන්නකි. ලොව වේගයෙන්ම පන්දු යවනු ලබන පන්දු යවන්නන් හිමි දකුනු අප්‍රිකානු පිලේ ලුන්ගි න්ගිඩිගේ එකම පන්දුවාරයට හයේ පහර 3 ක් එල්ල කිරීමට කුසල් සමත්වීම බොහෝ දෙනාගේ කතා බහට බඳුන්විණ. ඒ මන්ද යත් ඒ හයේ පහර තුනම පහසුවෙන් එල්ල කළ හැකි මට්ටමේ නොවන පහර බවට පත්ව තිබීම නිසාය.
මෙතෙක් පැවැති තරග දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඉන්දීය තණතීරු යනු පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරු බැවින් හෙට තරගයේදීද එය පොදු වෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයේදී වඩාත් හිතට ගත යුතු කරුණ වන්නේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තරගය පැවැති දිල්ලි ක්‍රීඩාංගණයට වඩා හයිද්‍රාබාද් ක්‍රීඩාංගණයේදී තණතීරු විශාල බවයි. එමෙන්ම පන්දු යැවීමේදී පෙර තරගයේදී සිදුවූ අතපසුවීම් මඟ හරවා ගනිමින් හෙට තරගයට අවතීර්ණ වීම තරගයේ ජයග්‍රහණයට වඩාත් හිතකර වනු ඇත.
“විශේෂයෙන්ම ඩෙත් ඕවර්ස් වලදි බැට්ස්මන්ලා ප්‍රහාරාත්මක පන්දුවට පහර දෙන අවස්ථාවේදී අපේ පන්දු යවන්නන් ස්ලෝ බෝල්, එකිනෙකට වෙනස් පන්දු වගේම යෝකර් පන්දු වගේම බවුන්සර් යැවීම හෙට තරගයේදී කළ යුතු දෙයක්. ඒ වගේම කළින් තරගය පැවැති දිල්ලි ක්‍රීඩාංගණයේ එක පැත්තක හතරේ සීමාව කෙටි වගේම තවත් පැත්තෙන් හතරේ සීමාව දුරින් තිබ්බේ. එතකෙට අපේ ක්‍රීඩකයින් දැන ගන්න ඕන හෙට තරගයේදී කොහොමද ඒ දේවල් වලට හුරුවෙන්නෙ කියන එක ගැන“ යැයි හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු වන නවීඩ් නවාස් සඳහන් කර සිටියේය.
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වීම කැපී පෙනුණු අතර ඔවුනට නැවත් සුපුරු දක්ෂතා අතරට පැමිණීමට නම් හෙට තරගයේදී කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කරන ලද විමසීමේදී පිතිකරණ පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කරනු ලබන නවාස් ඉහත කරුණු පළ කර සිටියේය.
“අපිට ආයිත් ක්‍රීඩාංගණයකට ගිහිල්ලා පුහුණුවීම් කරන්න වෙලාවක් නෑ. මෙතිනන් ඉස්සරහට යනකොට අපිට ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට මාරු වෙවී සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතිං ඒ දේවල් ගැන ඔවුන් සමග සාකච්ඡා කළ යුතු වෙනවා.ඒ වගේම මං හිතන්නේ ඒගොල්ලාන්නගේ මානසික වශයෙන් මේ දේවල් වලට හුරු වෙන්න ඕන.
මොකද කන්ඩිෂන් වෙනස් වෙන්න පුලුවන්. අපි ගහන කණ්ඩායම් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඒ කණ්ඩායම් වල ශක්තීන් එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම එක එක ක්‍රීඩකයින්ට පන්දු යවන්න ඕන වෙනස් වෙනස් තැන් තියෙනවා. ඒ වගේම ඒ ක්‍රීඩකයින් ගැන සොයලා බලලා ඔවුන් වෙනුවෙන් වන සැලසුම මොකද්ද කියන එක අපි ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා. හැම දේම හැම මැච් එකකදී වෙනස් වෙනවා. එතැනදි සැලසුම කියන දේ හරි වැදගත්. ඒ ගැන අවධානයෙන් ඉන්න වෙනවා. තරගයට පෙර ඒ සැලසුම අපිට සංතෝෂ වෙන්න පුලුවන් තැනක තියෙනවද කියන එක ගැන බලන්න ඕන එහෙම වෙන්න බැරි නම් අපි ක්‍රීඩකයින් සමඟ වාඩි වෙලා තරගය හොඳින් උස්සගන්න පුලුවන් විදියකට කතා කරගන්න ඕන“ යැයි ද නවාස් සදහන් කර සිටියේය.
මෙහිදී කලකට පසු කණ්ඩායමට පැමිණ සිටින කුසල් ජනිත් පෙරේරා ගැනද නවීස් නවාස් මහතා අදහස් දක්වා සිටියේය. “අපි හැමෝම දන්නවා කුසල් පෙරේරා කියන්නේ කවුද කියලා. එයා ගහන්න ඕන කොයි විදියටද කියලා මං හිතන්නේ නෑ මම විශේෂයෙන් කියන්න ඕන කියලා. මං හිතන්නේ කුසල් පෙරෙරාට කියනවා නම් එයා සුපුරුදු විිදයට පන්දුවට පහර දෙන්නේ නැතුව වෙනස් විදිහට අප් කරන්න කියලා මංහිතන්නේ අපි ඒ වගේ ක්රීඩකයොක් අපිත් එක්ක ඉන්න එකේ උපරිමය මම ගන්නේ නෑ කියලා හිතනවා. ඉතිං ඒ වගේ ක්‍රීඩකයෙක් අපේ සංචිතයේ ඉන්න එකේ එයාව එයාගේ සුපුරරුදු දක්ෂතාවයන්වලට ගෙනල්ලා ශක්තියක් විදියට අපිට පාවිච්චි කරන්න ඕන කියලා. එයාව අපිට ග්‍රින් ලයිට් එක දීලා තියෙන්නේ එයාගේ ගේම් එක ක්‍රීඩා කරන්න කියලා“ යැයි නවාස් පවසයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරග අවස්ථාව උදාකර ගැනීමට සිදු වූයේ සිම්බාබ්වේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව සෑම තරගයක්ම ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගත් අතර එම ජයග්රහණයන් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බෙහෙවින් ඉවහල් විය. එම තරගාලියේදී ඉනිම ආරම්භ කරන ලද්දේ පැතුම් නිස්සංක සමඟින් දිමුත් කරුණාරත්න වන අතර ඔවුන් දෙදෙනා අවශ්‍ය සහයෝගය ශ්‍රී ලකාවට ලබා දුන්හ. නමුත් ආසියානු කුසලාන තරගාවලියේ සීිට ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙස අවධානය යොමු කිරීමේදී ආරම්භය යළිත් අස්ථාවරත්වයකට පත්ව තිබේ. මේ පිළිබඳවද අද දිනයේදී මාධ්‍යෙව්දීන් සහාය පුහුණුකරුගෙන් විමසා සිටියේය.
“මෙහෙමයි. වර්ල්ඩ් කප් එකක් ළං වෙලා ඉන්නකොට අපිට ගොඩක් ආදේශ කරන්න ආමරුයි. අපි ආදශෙ කරවා නම් කරන්න ඕන පලපුරුදු කීඩකයින්. ඒක නිසා තමයි අපි කොලිෆයර් යනකොට අපි දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයෙක්ව ආදේශ කළේ. මොකද අපිට ඕන එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එතන කඩුලු වැටෙමින් තිබ්බ එක නතර කර ගන්න.
අපි හිතනාව ඒකෙදි දිමුත් ඔහුගේ වගකීම සාර්ථකව කළා කියලා. ඊට පස්සේ මැද හරියක් වෙනකොට අපිට තේරුණා වරල්ඩ් කප් එකට යනකොට අපිට ඉස්සරහින් ගොඩක් ලකුණු ලබා ගන්න වෙයි කියලා. නැත්නම් පල්ලෙහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ඒක ලොකු පීඩනයක් එනවා කියලා. ඒ වෙලාව වෙනකොට කුසල් ජනිත් ආබාධයකට ගොදුරු වෙලා හිටියා. එයා ඒ වන විට එයාගේ උරහිසේ ඔපරේෂන් එක කරලා තිබ්නෙෑ. ඒ නිසා අපි හැම තිස්සේම ඔලුවේ තියාගෙන හිටියේ කුසල්ගේ ඉන්ජරි එකෙන් සුව වුණොත් අපි එතනට එයාව ගේනවා කියලා. නමුත් අපිට කුසල්ගේ සේවය ලබා ගන්න බැරි වුණ නිසා ඊළඟ ඔප්ෂන් එක තිබ්බේ පළපුරුදු සහිත ක්‍රීඩකයෙක්ට යනවද නැත්නම් නවකයෙක්ට යනවද කියලා“ යැයි නවාස් සඳහන් කර සිටියේය.
මේ අතර දෙරට අතර ලෝක කුසලාන තරග ඉතිහාසයේදී දෙරට අවස්ථා 7 දී මුණ ගැසී තිබෙන නමුත් ඒ සෑම අවස්ථාවකදීම ජය වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව තිබේ. 1975 වසරේ සිට මේ දක්වා තරග 81 ක් පවත්වා තිබෙන අතර එහිදීද වැඩි ගෞරව අත්කර ගැනීමට පාකිස්තානු පිල සමත්ව සිටියි. ඔවුන් ජයග්‍රහණ 40 ක් වාර්තා කරද්දී ශ්‍රී ලංකාව අවස්තා 38 කදී ජය වාර්තා කිරීමට සමත්ව තිබේ. මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවේදී නිමා වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට මුණ ගැසුණු අවස්ථාවේදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංනජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.
පාකිස්තානු සංචිතය – බාබර් අසාම් (නායක), ශාදාබ් ඛාන්, ෆහාර් සමාන්, ඉමාම් උල්හක්, අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් රිස්වාන්, සෞද් ශඛීල්, ඉෆ්තිකාර් අහමඩ්, සල්මාන් අලි අඝා. මොහොමඩ් නවාස්, උසාමා මිර්, හැරිස් රාවුෆ්, හසන් අලී, ශහීන් අෆ්රිඩි, මොහොමඩ් වසීම්.