ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලොව කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා කරන්නේ අපටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකට බවත් සුළු වෙනසක් සිදුවන්නේ එය ක්‍රීඩා කරන රටේ තණතිලිවලට හැඩ ගැසීම පමණක් බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව අද (21) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
“ මෙහි තණතිලි සහ දේශගුණික තත්ත්වයන් පිළිබඳව මා පසුගිය දින කිහිපය තුළම හොඳින් නිරීක්ෂණය කර අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට මෙහි පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද පසුගිය දිනවල මෙහිදී දීර්ඝ පුහුණුවක් ලබා දැන් සිටින්නේ හොඳ මානසික සහ ශාරීරික තත්ත්වයකිනුයි.“
“මෙහි තණතිලි සහ දේශගුණික තත්ත්වය බොහෝ දුරට අප රටේ තත්ත්වයන්ට සමානයි. අපගේ පුහුණු කාර්ය මණ්ඩලයේ අදහස වුයේත් මෙයමයි. අප සිතනවා වේගපන්දු යවන්නන්ට මඳක් වාසිදායක වේවි කියා. අපගේ කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් එක්වීමෙන් කණ්ඩායම තවත් ශක්තිමත් වී තිබෙනවා.“
“අප මෙහි පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්තානය සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ද අප හොඳින්ම දස්කම් පෙන්වුවා. අපගේ ඉලක්කය වී තිබෙන්නේ හොඳින් ක්‍රීඩා කර ටෙස්ට් තරගාවලිය ජය ගැනීම යැයි ද ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කරයි.
ටෙස්ට් තරගය පැවැත්වෙන සිලෙට් ක්‍රීඩාංගණයේ තණතිල්ල අද (21) දිනයේ කොළ පැහැයෙන් යුක්ත වුවත් හෙට (22) වන විට එය කෙළෙස තිබේ දැයි තමා නොදන්නා නමුත් මෙහි තණතිල්ල සහ පවතින තත්ත්වයන්ට තමා සහ කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් හුරුව සිටින බව ද ධනංජය ද සිල්වා කියයි.
පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහි දීර්ඝ පුහුණුවක් ලැබීමෙන් ප්‍රබල තත්ත්වයක සිටින හෙයින් ටෙස්ට් තරගාවලියේ වැඩි වාසි අත්කර ගැනීමට අපේක්ෂා කරන්නේ යැයි ද ශ්‍රී ලංකා නායකයා කීවේය.
වනිඳු හසරංග නැවත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක්වීම පිළිබඳව මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ පැවසුවේ වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් ලබාදෙමින් නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කළ බවත් වනිඳු සම්බන්ධ වෙනත් සිදුවීම් කිසිවක් මීට අදාළ නොවන බවත් පැවසීය.
බන්දුල මොල්ලිගොඩ