slc
logo
Home   |    News
මැයි 4, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම මේ තරගාවලිය මේ වන විටම 3 – 0කින් ජයගෙන තරගාවලි ජය ද අත්කර ගැනීමට සමත්ව සිටී.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහකින් සමන්විත මේ තරගාවලියේ සිව්වන සහ පස්වන තරග දෙක මේ මස 5 සහ 7 දිනවල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

අද (03) පැවැති තෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම මුලින් පන්දුවට පහරදී රැස් කළ ලකුණු 185ට (ඕවර 41.2කදී) පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම ඕවර 37.3කදී කඩුලු හයකට ලකුණු 186ක් ලබා මේ තරගය කඩුලු හතරකින් ජය ගත්තේ තවත් පන්දු 75ක්ම ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ලකුණු 186ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී අංක හතර පිතිකරු 24 හැවිරිදි දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර අගනා ඉනිමක නියැළෙමින් පන්දු 109කට මුහුණ දී හතරේ නවයක් සමඟ නොදැවී ලකුණු 84ක් රැස් කරමින් ලංකා ‘ඒ ‘ ජයග්‍රහණයේ නියමුවා ලෙස ක්‍රියා කළේය.

පසිඳු මෙහිදී අගනා සබඳතා දෙකකට ද දායක විණි. පසිඳුට අමතරව වේගපන්දු යවන මොහමඩ් මේ තරගයේදී නැවත වතාවක් පන්දු යැවීමේදී දක්ෂතා අතරට පිවිසියේ ලකුණු 31කට කඩුලු තුනක්ම දවාලමිනි.

ප්‍රථම සහ දෙවන එක්දින තරග දෙකම ජයගෙන ඉදිරියෙන්ම පසු වූ ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායමට මේ තරගයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුයේ ලකුණු 186ක් වැනි පහසු ඉලක්කයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ළහිරු උදාර (04) මුළු ලකුණු පහේදීත් අංක තුන පිතිකරු කමිල් මිෂාර (06) දෙවන කඩුල්ල ලෙස මුළු ලකුණු 27දීත් දැවී ගියත් අංක හතර පිතිකරු පසිඳු සූරියබණ්ඩාර (නොදැවී) සහ සොනාල් දිනුෂ (35) දියත් කළ අගනා ඉනිම දෙක මත ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා පිය නැඟීය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අංක හතර පිතිකරු පසිඳු සූරියබණ්ඩාර අගනා සබඳතා දෙකකටම දායක විණි. එම සබඳතා දෙක වුයේ පස්වන කඩුල්ලට පසිඳු සහ සොනාල් දිනුෂ පන්දු 123කදී රැස් කළ ලකුණු 83 සහ තෙවන කඩුල්ලට පසිඳු සහ නිශාන් මධුෂ්ක පන්දු 30කදී එක් කළ ලකුණු 33ය.  මේ සබඳතා දෙක ශ්‍රී ලංකා ජයග්‍රහණය කඩිනම් කරලීය.

සොනාල් දිනුෂ පන්දු 64කදී ලකුණු 35ක් ද නිශාන් මධුෂ්ක පන්දු 24කදී හතරේ හතරක් සමඟ ලකුණු 20ක් ද පවන් රත්නායක පන්දු 17කදී හතරේ දෙකක් සමඟ ලකුණු 13ක් ද ලැබීය.

ඇෆ්ගනිස්ථාන ‘ඒ ‘ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ ද ඔවුනට ඕවර 41.2ක් තුළ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාවෙහි ඕවරයකට සාමාන්‍ය ලකුණු 4.48ක් පමණක් විය.

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පන්දුවට පහරදෙද්දී වරක් ඕවර 27.3ක්  ගත වන විට මුළු ලකුණු 118ක් වන විට ඉදිරිපෙළ පිතිකරුවන් හතක්ම දැවී ඔවුන් පත්ව සිටියේ දැඩි අසීරු තත්ත්වයකටය. මේ අවස්ථාවේ අංක අට පිතිකරු සියා උල් රෙහ්මන් (36) සහ අංක නවය පිතිකරු මොහමඩ් සලිම් (13) අටවන කඩුල්ලට පන්දු 52කදී ලකුණු 36ක් රැස් කරමින් මුළු ලකුණු තත්ත්වය ලකුණු 154 දක්වා ඉහළ නංවාලීමට සමත් වූහ. මෙය ඔවුනගේ ඉනිමේ දෙවන වැඩිම ලකුණු සබඳතාවයයි.

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායමේ හොඳම සබඳතාව වුයේ දෙවන කඩුල්ලට සුබයිඩ් අක්බාරි (16) සහ ඩාවිෂ් රසුල් (16) පන්දු 33කදී රැස් කළ ලකුණු 46 වේ.

මේ ඉනිමේදී පිතිකරුවන් අතුරින් කැපී පෙනුණේ සිව්දෙනකු පමණි. ඉන් කිසිවකුටත් අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට අවස්ථාව උදා නොවීය. වැඩිම ලකුණු ලාභියා වූ අංක අට පිතිකරු සියා උර් රෙහ්මන් පන්දු 47කට මුහුණ දී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 36ක් ලැබීය.

ඊට අමතරව අංක තුන පිතිකරු ඩාවිෂ් රසුල් පන්දු 15කට මුහුණ දී හතරේ පහර හයක් සමඟ ලකුණු 25ක් ද අංක හතර පිතිකරු ෂාහිඩුල්ලා පන්දු 37කදී හතරේ දෙකක් සමඟ ලකුණු 23ක් ද අංක නවය පිතිකරු සුබයිඩ් අක්බාරි පන්දු 28කදී හතරේ දෙකක් සමඟ ලකුණු 16ක් ද රැස් කළහ.

දෙවන එක්දින තරගයේදී මෙන්ම පන්දු යැවීමේදී දස්කම් දැක් වූ මොහමඩ් ශිරාෂ් ලකුණු 31කට කඩුලු තුනක් දවාලීමට සමත් විය.

ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම ඕවර 41.2කදී සියල්ල දැවී 185යි –

(සියා උර් රෙහ්මන් 36, ඩාවිෂ් රසුල් 25, ෂාහිඩුල්ලා 23, සුබයිඩ් අක්බාරි 16, මොහමඩ් ශිරාෂ් 31/3, සොනාල් දිනුෂ 29/2, දුෂාන් හේමන්ත 29/2)

 ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම ඕවර 37.3කදී කඩුලු 6ට 186 –

(පසිඳු සූරියබණ්ඩාර නොදැවී 84, සොනාල් දිනුෂ 35, නිශාන් මධුෂ්ක 20, පවන් රත්නායක 13, බිලාල් සාමි 43/2)

බන්දුල මොල්ලිගොඩ

 

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]
  • කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee