ඉ
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියදී අත්හිටුවූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුල්ලක් නොදැවී ලකුණු 186ක් රැස් කරමින් ප්‍රබල ආරම්භයක් ලබා ගත්තේය.
පළමු දිනය නිමාවන විට නොදැවී ලකුණු 203ක් රැස් කර සිටි සෙනුජ වෙකුණගොඩ, දෙවැනි දිනයේදී තවත් ලකුණු 30ක් එක් කරමින් පන්දු 257කදී හතරේ පහර 33ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 233ක් රැස් කළේය. එම ඉනිමත් සමඟ ශ්‍රී ලංකා යොවුන් සිව්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට පත්වූ සෙනුජ, යශෝධ ලංකාගේ ලකුණු 213ක වාර්තාවද අභිබවා ගියේය.
සෙනුජ දැවී යාමෙන් අනතුරුව චාමික හීනටිගල නොදැවී ලකුණු 33ක් රැස් කරමින් පහළ පෙළ පිතිකරුවන් සමඟ ඉනිම ඉදිරියට ගෙන ගිය අතර, ශ්‍රී ලංකා නායකත්වය පන්දුවාර 106.4කදී කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිමේදී විමත් දින්සර ලකුණු 52ක් සහ කවිජ ගමගේ ලකුණු 49ක් රැස් කළ අතර, ඉන්දීය පන්දු යවන්නන් අතර කව්යා පටෙල් කඩුලු 2ක් දවා ගත්තේය.
ලකුණු 425ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ ලක්ෂ්‍ය රායිචන්දනි සහ සාගර් විර්ක් ඉතා ඉවසීමෙන් පිතිහරඹයේ නිරත වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 186ක සම්බන්ධතාවක් ගොඩනඟා දිනය නිමා කළහ.
රායිචන්දනි නොදැවී ලකුණු 93ක් රැස් කළ අතර, සාගර් විර්ක් නොදැවී ලකුණු 87ක් රැස් කළේය. ඔවුන්ගේ සබඳතාව හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තරගයට යළි ප්‍රබල ලෙස අවතීර්ණ වුවද, දෙවැනි දිනය අවසන් වන විට තවමත් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 238ක් පසුපසින් පසුවෙයි.
ඒ අනුව තරගයේ තීරණාත්මක තෙවැනි දිනයේදී ඉන්දීය ආරම්භක සබඳතාව බිඳ දැමීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රධාන අභියෝගය වන අතර, ඉක්මන් කඩුලු කිහිපයක් දවා ගැනීමට හැකි වුවහොත් තරගයේ වාසිය තවදුරටත් ශ්‍රී ලංකාව සතුව පවත්වා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.





