slc
logo
Home   |    News
අගෝස්තු 3, 2024
චරිත් අසලංක වරද නිවැරදි කරයි

sinhala editor

BY CHAMILA KARAWITA

එක්දින තරගයකදී ලකුණු 231 ක ඉලක්කයක් යනු පහසුම ඉලක්කයක් වුවත්, ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (02 දා) පැවැති පළමු එක්දින තරගය ලකුණු සම තරගයක් ලෙසින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. ඉන්දීය ජයග්‍රහණය සදහා එක් ලකුණක් අවශ්‍යව තිබූ අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ අවසන් කඩුලු 2 ම පිට පිට පන්දු දෙකකදී දවා ගත් නායක චරිත් අසලංක පරාජය පෙනී පෙනී තිබූ තරගය ලකුණු සම අවසන් කර ගැනීමට සමත්වූවේය.

ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5 ක් අවශ්‍ය මොහොතේදී පන්දුව අතට ගත් නායකයා චරිත් අසලංකගේ තෙවැනි පන්දුවට යළිත් හතරේ පහරක් එල්ල කරමින් ලකුණු සම තත්ත්වයට රැගෙන ඒමට ඩූබ් සමත්විය. එහෙත් ඊළඟ යවන ලද පිට පිට පන්දු දෙකකදී ඩූබ් සහ අර්ශ්දීප් සිංව කඩුල්ල මුවා කිරීමේ වදරට හසු කර ගනිමින් ගත් ශ්‍රී ලංකා නායකයා සිය උඩ පන්දුව ගිලිහී යෑමෙන් තමන් අතින් සිදුවූ වරද නිවැරදි කර දුන්නේය.

තණතීරුවේ පැවැති වියළි ස්වභාවය නිසාම දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබුණු ආර්. ප්‍රේමදාස තණතීරුවේදී රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් රිසිසේ පන්දුවට පහර දීම නිසා පන්දුවාර 13 ක් ඇතුළත ලකුණු 75 ක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. ලකුණු 12 ක් ඇතුළත ෂර්මා, ගිල් සහ වොෂිංටන් සුන්දර් දැවී ගියද පිටියට එක්වූ විරාට් කෝලි සහ ශ්‍රේයාස් අයියර් ලකුණු 47 ක් රැස් කරමින් ඉන්දීය ලකුණු පුවරුව 132 කරා ඉහළ දැමූහ.

කෝලිගේ කඩුල්ල හසරංග විසිනුත් අයියර්ගේ කඩුල්ල අසිත ප්‍රනාන්දු විසිනුත් දවා ගැනීමට සමත්වීම නිසා තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නැඹුරුවීමට ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වූවේය. නොසිතූ පසුබෑමකට ගොදුරුවූ ඉන්දීය ඉනිම කෙමෙන් කෙමෙන් ගොඩ නඟමින් සිටින අතුතරුදී ලොකේෂ් රාහුල් ලබා දුන් උඩ පන්දුව ස්ලිප් ස්ථානයේ පන්දු රැකී නායක අසලංකගේ අතින් ගිලිහී නොයන්නට අක්සර් පටෙල් සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 57 ක සම්බන්ධතාව ඊට කළින් අවසන් වන්නට තිබිණ.

මැද පෙළින් පැමිණි ශිවම් ඩුබ් කඩුල්ලේ රැඳී සිටීම නිසා තරගය ශ්‍රී ලංකාව දෙසට නම්මවා ගැනීම පහසු නොවීය. අවස්ථාව ලද විගස දැවැන්ත පහර එල්ල කිරීමට හැකියාවක් දක්වන අඩි හයකට වඩා උසින් යුත් ඩූබ් හසරංගට එල්ල කරන ලද හයේ පහරත් සමග පිටිය තුළ වැඩි විශ්වාසයක් ගොඩ නඟා ගත්තේය. ඒ සමඟම ජයග්‍රහණය සදහා වූ පරතරයද කුණු 8 ට අඩු වූවේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමිනි.

ඒ සමඟම මෙම තරගය සනිටුහන් වූයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ පවත්වන ලද එක්දින තරයකදී ලකුණු සමව අවසන් වුණු පළමු තරගය බවට ඉතිහාසයට එක් වෙමිනි. එමෙන්ම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ලකුණු සමව අවසන් වුණු 6 වැනි තරගය බවටද පත්විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රභල ඉන්දීය පන්දු යැවීම හමුවේ කඩුලු 9 ට ලකුණු 230 ක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. අද දිනයේදී පැතුම් නිස්සංක හැර ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වද්දී නිස්සංකට එක් වුණු දුනිත් වෙල්ලාලගේ නොදැවී රැස් කරන ලද ලකුණු 67 නිසා ශ්‍රී ලංකාවට සැනසිලි දායක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවකාාශ උදාවිය. මෙහිදී පැතුම්ගේ දායකත්වය ලකුණ 56 කිනි. අද තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පන්දු 300 න් 181 ක්ම නිලකුණු පන්දු ලෙසින් සනිටුහන් විය.

ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ කෙතරම් දුරට අසාර්ථක වූවේද කිවහොත් 27 වැනි පන්දුවාරය වනවිට 5 වැනි කඩුල්ල දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 101 ක් තිබියදීය. වෙල්ලාලගේ ප්‍රමුඛ පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිහරඹයද සමඟ අවසන් පන්දුවාර තුනේදී ලබා ගත් ලකුණු 29 ද සමඟින් ලකුණු 230 ක් ලකුණු පුවරුවේ රැඳවීමට අවස්ථාව උදාවිය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය මේ මස 04 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ.

තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 230 යි

පැතුම් නිස්සංක 56, අවිශ්ක ප්‍රනාන්දු 01, කුසල් මෙන්ඩිස් 14, සදීර සමරවික්‍රම 08, චරිත් අසලංක 14, ජනිත් ලියනගේ 20, දුනිත් වෙල්ලාලගේ 67*, වනිඳු හසරංග 24, අකිල ධනංජය 17, මොහොමඩ් ශිරාස් 01*, අර්ශ්දීප් සිං 47/2, අක්සාර් පටෙල් 33/2

ඉන්දියාව පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 230 යි

රෝහිත් ෂර්මා 58, ෂුබ්මන් ගිල් 16, විරාට් කෝලි 24, වොෂිංටන් සුන්දර් 05, ශ්‍රෙයාස් අයියර් 23, ලෝකේෂ් රාහුල් 31, අක්සාර් පටෙල් 33, ෂිවම් ඩූබ් 25, කුල්දිප් යාදව් 02, මොහොමඩ් සිරාජ් 05*, අර්ශ්දීප් සිං 00, දුනිත් වෙල්ලාලගේ 39/2, වනිඳු හසරංග 58/3, චරිත් අසලංක 30/3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee